• Thu. Feb 2nd, 2023

wenasaවෙනස සැපයි ද? යන මැයෙන් සංවිධානය වුණ සම්මන්ත‍්‍රණයක පෝස්ටර් අලවා තිබෙනු දැකීමෙන් මට ඇති වූයේ සතුටකි. එහි සතුට උත්ප‍්‍රාසය දනවන්නක් විය. එපමණක් නොව ඉන් දැඩි කම්පාවක් ද සිතෙහි ඉපදිණි.

වෙනස සැපයි ද?, යනුවෙන් ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක් පැවැත් වීමට හැකිවීම, ඒ සඳහා නිදහස සැපතක් නොවේ ද?

මහින්ද රාජපක්ෂ බලයට පත් වී නම්, වෙනස අපේක්ෂා කළ අයට, දේශපාලනිකව වෙනස් අදහස් දැරූ පුද්ගලයන්ට එවැනි සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට සැබැවින්ම මේ රට තුළ ඉඩක් තිබේ ද? සම්මන්ත‍්‍රණයට ශාලාවක් ලැබේවි ද? සම්මන්ත‍්‍රණයට පෙර දින කී දෙනෙකු සුදු වෑන්වලින් පැහැර ගෙන යාවි ද? මර බිය ජනිත කොට පළිනොගනීවි ද?
වෙනස සැපදැයි ඇඳුම් ඇඳගෙන සම්මන්ත‍්‍රණ පැවැත්වීමට හැකිවීම ම වෙනසකි. වෙනස සැපදැ’යි උපහාසයෙන් බෝසත් වරුන් සේ විමසන්නේ රාජපක්ෂකරණය වූ ඉන් ගැලවීමක් නැති පිරිසකි. ඔවුන් පුරවැසියන් වීමට අකමැති, යටත් වැසියන් වීමට කැමති උදවිය බව කිව යුතු නොවේ.

වෙනස සැපදැයි අසන පිරිසේ දේශපාලන දෘෂ්ටිය කුමක් ද?

ඉතා පැහැදිලිය. ඔවුන්ගේ අපේක්ෂාව රට පුරා ජාතිවාදය වපුරමින් ජන විඥානය විපරීත කිරීම ය. එය අභාග්‍යයකි. රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත‍්‍රයේ තිබෙන්නේ ජාතිවාදය පමණි. මහ රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට ඉවහල් කරගත්තේ ද ජාතිවාදයයි. පරාජයෙන් වියරුව යළි බලයට කෑදරකමින් පන්සල් යමින් වපුරුවන්නේ ද ජාතිවාදයයි. සැබැවින්ම ඔව්හු මේ රටේ ලේ වැගිරීමට කැමැත්තෝ වෙති. සියලූ පුරවැසියන්ගේ නිදහස උරුම කර දීමට, රටට යහපත් අනාගතයක් උරුම කරදීමට අකමැත්තෝ වෙති.

නීලා වික‍්‍රමසිංහ නමැති විශිෂ්ට ගායිකාව පරාජිත ජනාධිපතිට පවසා සිටියේ ‘ගහලා හරි ගන්න’ තිබුණේ යන්නයි. ඒ ඇගේ දේශපාලන විඥනයේ තරමයි. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඇගේ සංගීත ප‍්‍රසංගයක් සංවිධානය කෙරේ. ඒ වෙනුවෙන් කටවුට් ප‍්‍රදර්ශනය කරමින්, ප‍්‍රචාරය ලබා දෙමින් කටයුතු කිරීම අපි දුටුවෙමු, ඇසුවෙමු. ඒ ගැන අපි අපමණව සතුටු වන්නෙමු. ඒ මන් ද? ඒ අප අපේක්ෂා කළ වෙනසේ ගතිසොබා විද්‍යාමාන වීමක් බැවිනි. මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළේ නම්, නිරෝෂා විරාජිනීට ‘ගීතාංජලී’ ප‍්‍රසංගයක් උදෙසා ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉඩක් ලැබේවි ද? ප‍්‍රචාරයක් ලැබේවි ද? නැත. නීලා වික‍්‍රමසිංහම ඊට එරෙහිව අවි අමෝරනු ඇත. එසේ පවසන්නේ, ඇය මිහිරි කටහඬක් උරුම ගායිකාවක වුවත්, ඇය ප‍්‍රචණ්ඩ මනසක් තිබෙන කෙනෙකු බව මෙවර අප වටහා ගත් බැවිනි.

අතීතයේ දී, රාජ්‍ය යාන්ත‍්‍රණයේ වෙනසක් වූ සැණින් මුලින්ම පළිගැනීමට ලක්වන්නෝ ගුවන් විදුලියේ වැඩ කළ පුද්ගලයෝය. එපමණක් ද? වෙනස් දේශපාලන අදහස් දැරූ ගායක ගායිකාවන්ගේ ගීත වාදනය කිරීමක් සිදු නොවේ. ඔවුන්ගේ තැටි විනාශ කළ බව ද සත්‍යයකි. ජනාධිපතිවරණයෙන් පසුව එවැනි විනාශකාරී බලවේගවල හැසිරීම් කොතැනක හෝ කවුරුන් සම්බන්ධව හෝ කිසිවෙකු දුටුවේ ද? නැත. මැරුවත් මහින්ද රාජපක්ෂ සමඟ යයි පවසන රෝහණ වීරසිංහට පවා කිසිම මාධ්‍ය ආයතනයක දොරටු වැසී නැති බව පැහැදිලි සත්‍යයකි. ඒ ගැන අපි සතුටු වන්නෙමු. ඒ අප පැතූ වෙනසේ ගතිසොබා විද්‍යාමාන වීමකි. ඒ වෙනස අපට සැපකි.

රාජ්‍ය මාධ්‍යවල විපක්ෂයට අද පැහැදිලිව ඉඩක් ඇත. මාධ්‍ය සාකච්ඡා පවත්වා ඒ වා ප‍්‍රචාරය කිරීමට මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට හැකි වී තිබේ. ආණ්ඩුවේ වැඩ ගැන විවේචනය කිරීමට ඉඩ ලැබී තිබේ. මාධ්‍යවේදීන්ට කවරෙකුගෙන් වුව බියෙන් තොරව ප‍්‍රශ්න කිරීමට නිදහස උරුම වී ඇත. ඒ ගැන අපි සතුටු වන්නෙමු. ඒ අප පැතූ වෙනසේ ගතිසොබා විද්‍යාමාන වීමකි. ඒ වෙනස අපට සැපකි.

මහින්ද රාජපක්ෂ තම ආණ්ඩුවේ සිටි මැති ඇමතිවරුන් කුක්කන් බවට පත් කර, නිවටයන් බවට පත් කර සිය පවුලේ උදවියට අභිමත සියල්ල ඉටු කිරීමට බලය පරිහරණය කළේය. සිය දරුවන්ගේ විනෝදය පිණිස මහජනතාවට අපමණ හිරිහැර කරමින් රාජ්‍ය මුදල් හා රාජ්‍ය බලය උපරිමව පරිහරණය කළේය. රට පාලනය කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයෙකු නොව, වැඩවසම් චින්තනයකින් මඬනා ලද, මියෙන තුරු බලයේ සිටින රජ කෙනෙකුයැ’යි කල්පනා කළ පුද්ගලයෙකි. ඒ රජු පරාජය වීම, යළි ඔහුට රටේ ජනාධිපතිවරයා වීමට අවකාශයක් නැතිකම මොන තරම් සැනසීමක් ද? එය නීතිගරුක පුරවැසියන්ට සැපකි.

රාජපක්ෂ ආණ්ඩුවේ නිවට මැති ඇමතිවරුන්, කිසිවකට කටක් අරින්නට බියෙන් සලිතව සිටි මැති ඇමතිවරුන්, ඔහුගේ පරාජයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ කතා කරන අන්දම, බලයේ සිටින විධායක ජනාධිපතිගෙන් පරාජිත විධායක ජනාධිපතිට යළි බලයක් ඉල්ලමින් කටයුතු කරන අන්දම, හැසිරෙන අන්දම විස්මය උපදවන්නේය. ඊට හැකිවීම තුළ රාජ්‍ය නායකයෙකුගේ වෙනසක් නොපෙනෙන්නේ ද?

රාජ්‍ය නිලධාරීන් ත‍්‍රස්ත කරමින් රාජ්‍ය යාන්ත‍්‍රණයම මහින්ද රාජපක්ෂ භීතියට පත් කර තිබූ බව විස්තර කළ යුතු නැත. දෙන අණ කි‍්‍රයාවට නැඟීම විනා නීතියට වැඩ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට නිදහසක් නොතිබිණි. විශේෂයෙන් කිවයුත්තේ මාධ්‍ය සම්බන්ධ රාජපක්ෂ අනුදත් තිරශ්චීන පිළිවෙතයි. මාධ්‍යවේදීන් රට හැර ගියේ මන් ද? මර බිය දැනුණ බැවිනි. අත පය කඩන රාජ්‍ය ත‍්‍රස්තවාදයක් තිබුණ බැවිනි. ඒ තත්ත්වය ගැන, වෙනස සැපදැයි විමසන ඇතැම් පුද්ගලයෝ හොඳින්ම දනිති.

මේ ආදි වශයෙන් රාජපක්ෂ පරාජයෙන් පසු රටේ තත්ත්වය ගැන සතුටු විය හැකි කරුණු අපමණය. ඒ වූ කලි වෙනසකි. සුළුකොට තැකිය නොහැකි වෙනසකි. ඒ වෙනස අපට සැපකි. එහෙත් ඒ වෙනස අපට ප‍්‍රමාණවත් නැත. ඒ ගැන අප තෘප්තිමත් නැත. ඒ මන් ද?
රටේ නීතිගරුක පුරවැසියන් අපේක්ෂා කළ වෙනස කුමක් ද?

සිවිල් සමාජයේ නීතිගරුක පුරවැසියන් අපේක්ෂා කළේ, ඔවුන් පෙනීසිටියේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙනි. නීතියේ ආධිපත්‍යය වෙනුවෙනි. මර බිය නැති, නිදහස හා සාධාරණත්වය සියලූ පුරවැසියන්ට උරුම වන රටක් වෙනුවෙනි.
දීර්ඝ කාලයක් දරුණු පාලකයෙකු සහ පවුලක් විකෘත කළ දේශපාලන යාන්ත‍්‍රණයක්, රෙද්දක් සෝදා පිරිසිදු කරන අන්දමින් පිරිසිදු කළ නොහැකිය. ඒ සඳහා අදාළ ආයතන ශක්තිමත් කළ යුතුය. එය පහසු නැත. සැබැවින්ම අප පැතූ සාධනීය අන්දමේ වෙනස සඳහා ගමන දුෂ්කර ගමනකි. එබැවින් සැබෑම වෙනසකට තව වෙහෙසිය යුතුය. කෙසේ හෝ වෙනස කරා යා යුතුම ය. ඒ සඳහා දොරටුව විවර කර ගැනීමට අපි සමත් වුණෙමු. මාවත ගොඩ නඟා ගැනීමට මහන්සි විය යුතුව තිබේ. අද නීතිගරුක පුරවැසියන් එදාට වඩා ඉදිරියට පැමිණෙන්නේ විශාල වශයෙනි. ඔවුන් අද එළියට පැමිණ වැඩ කිරීමට ලෑස්ති වන්නේ මර බියකින් තොරවය. මේ අනුව කැපවීමෙන් සාධනීය වෙනසක් සඳහා විශාල දුරක් ඉදිරියට ගමන් කළ හැකිය. එහි අවසන දී රටට අත්විඳින්නට ලැබෙන වෙනස සියලූ පුරවැසියන්ට සැපතක් වන්නේය.

මහින්ද රාජපක්ෂ පසුගියදා පන්සලක දී භික්ෂූන්ගෙන් හා මහජනතාවගෙන් විමසන්නේ, ‘සිල් රෙදි බෙදූ එක වරදක් ද?’ යන්නයි. එය වරදක් නම් ‘සිල් සමාදන් වන එකත් වරදක්’ නේදැයි ඔහු අසයි. රටක් පාලනය කළ පාලකයෙකු මේ අසන ප‍්‍රශ්නවලින් විශද වන්නේ කුමක් ද? ඔහු රටවැසියන් අඥාන මැට්ටන් ලෙස සලකා රට පාලනය කර තිබෙන බව නොවේ ද?

ඔහු සිල් රෙදි බෙදුවේ මැදමූලන බූදලයෙන් ද? සාධාරණව හරිහම්බ කර ගත් ධනයකින් ද? නැත. ඔහු සියල්ල කළේ රාජ්‍ය මුදල් අවභාවිත කරමිනි. රාජ්‍ය බලය අවභාවිත කරමිනි. එවැන්නෙකු රටක් පාලනය කිරීමට මොන අන්දමකින්වත් යළි සුදුස්සෙකු වන්නේ කෙසේ ද?

ජනතා පරමාධිපත්‍යය දේශපාලනඥයන් අතින් අවප‍්‍රමාණ වීම පමණක් නොව, කෙලෙසන බව ද අපි හොඳින් දන්නෙමු. අවාසනාව වන්නේ ඇතැමුන් ඊට කැමැති වීමය. ඒ මන් ද? කල දුටු කළ වල ඉහගැනීමට හැකි තත්ත්වයක කාලයක් කටයුතු කිරීමට හුරුවීමේ ඛේදයයි. මේ අවිනීත තත්ත්වය වෙනස් කළ යුතුය. ඒ වෙනස, පාලකයෙකු වෙනස් කළ පමණින් හෝ ආණ්ඩුවක් වෙනස් කළ පමණින් හෝ සිදුවන්නේ නැත. මෙහිදී මට සිහිපත් වන්නේ ශ්‍රේෂ්ඨ නෙල්සන් මැන්ඩෙලාගේ වචනය. මැන්ඩෙලා මෙසේ පවසා ඇත.
”සත්‍ය වශයෙන්ම අපි තවම නිදහස් නැත. අප ලබා ගත්තේ නිදහස්ව සිටීමට නිදහසයි. පීඩනයට පත් නොවීමේ අයිතියයි. අපේ ගමනේ අවසානයට අපි නොපැමිණියෙමු. දීර්ඝ වූත් වඩාත් දුෂ්කර වූත් ගමනක පළමු පියවර ගතිමු. නිදහස යනු බැඳී සිටි යදම් ඉවත් කිරීම පමණක් නොවේ. අන්‍යයන්ගේ නිදහසට ගරු කරන, එය වැඩි දියුණු කෙරෙන ආකාරයෙන් ජීවත් වීමය. නිදහසට ඇති භක්තිය සැබෑ පරීක්ෂණයට භාජනය වීම ඇරඹුණා පමණි.”

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදවීමට කටයුතු කළේ මේ රටේ සිවිල් සමාජය නියෝජනය කරන නීතිගරුක පුරවැසියෝ පමණක් නොවෙති. විවිධ පක්ෂ, මෙන්ම තවත් සිවිල් සංවිධාන සහ පුද්ගලයන් ද දායක වූ බව පැහැදිලිය. ඒ අවස්ථාවේ සියලූ බලවේගවල ශක්තිය අවශ්‍ය විය. අවාසනාව වන්නේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයෙන් පසුව ඇතැම් කොටස් පුද්ගලික න්‍යාය පත‍්‍ර ඔස්සේ බල අරගලයකට සේන්දු වීමය. ඒ තත්ත්වය තුළ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය ද දුර්වල වී තිබෙන්නේය. ඒ පසුබිම තුළ ජනවාරි අට වෙනිදා රටේ නීතිගරුක පුරවැසියන් ලද ජයග‍්‍රහණය අවප‍්‍රමාණ වන තත්ත්වයක් විද්‍යාමාන වේ. පල්වල ඉහගෙන කමින් සිටි පුද්ගලයන් බොරදියේ මාළු බාන්නට වෙර දරන්නේ එබැවිනි.

මළ මිනිස්සු අවදි වීම පමණක් නොව, සැඟව සිටි විසකුරු සර්පයන් ද නිදැල්ලේ හැසිරෙන තත්වයක් අද විද්‍යාමාන වේ. මේ අවාසනාවන්ත තත්ත්වය වටහා ගැනීමට දේශපාලන නායකයන් සමත් වී නම්, ජනාධිපතිවරණයෙන් පසුව සිදු කළ යුතුව තිබුණේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපතිකම උරුම වන්නේය. එය ලබා ගැනීමට ද හැකි වන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හැර පක්ෂයේ සභාපති පදවියට පත් වී නම්, පක්ෂය නිසි ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමට ජනාධිපතිවරයාට හැකි වන්නේය. ශක්තිමත් ආණ්ඩුවක් බලයට පත් වන්නේය. එසේ වී නම් මගේ අවබෝධය අනුව සාධනීය දේශපාලන ප‍්‍රතිසංස්කරණ උදෙසා හොඳ ඔළු ගෙඩි එකසිය පනහක අත් හෘදය සාක්ෂියට එකඟව ඒ පාර්ලිමේන්තුවෙන් ඉහළට එසවෙනු නිසැකය. ඇමති පට්ටම් පිරුවට ලෙස අන්දවමින් කැමැත්ත ලබා ගැනීමට උවමනාවක් ඇති නොවන්නේය.

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරියේ නම්, මහින්ද ඕනෑයි තප්පුලන උදවියගේ ලොම් හැලී පැත්ත වැටෙනු නියතය. ජරාජීර්ණ පුද්ගලයන් ගැන මහජනයාට යම් ප‍්‍රමාණයකට තීන්දුවක් ගැනීමට අවකාශය නිර්මාණය වන්නේය. රාජපක්ෂ ආණ්ඩුවේ නොපනත්කම් අවසන් වන්නේය. රට වෙනුවෙන් සාධනීය පියවර ගැනීමට කාලය කැප කිරීමට තිබුණි. අවාසනාවන්ත අන්දමින් ජනාධිපතිවරණයෙන් පසුව කාලය විනාශ වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ විපරීතයන් හා තක්කඩින් සමඟ ප‍්‍රතිසංස්කරණවලට උත්සාහ කිරීමෙනි. අදටත් සිදු වන්නේ එයයි. ඒ නිසා සාධනීය මට්ටමකට පුරවැසියන් අපේක්ෂා කළ වෙනසක් සිදු වුණේ නැත. යථාව නම් එයයි. එනමුත්, වෙනස සැපදැයි? කෝචොක් කරන්නට කලඑළි බසින්නේ අප අපේක්ෂා කළ වෙනස ගැන සංවේදී පුද්ගලයන් නොවන්නේය. ඉහතින් ද සඳහන් කළ අන්දමේ අමු ජාතිවාදීන්ය. මහින්ද රාජපක්ෂට දේශපාලන බලය අහිමි වීම සමඟ, ‘පල්වල ඉහගෙන කමින්’ සිටි පිරිසක් සැබවින්ම අනාථව සිටින බව පැහැදිලිය. එබැවින් තවදුරටත් බලය අවශ්‍ය පිරිස අතර ඔවුන් කැපී පෙනේ. ඒ අය රටට සන්නිවේදනය කරන්නේ ‘බෙදුම්වාදය’ හිස ඔසවන බවයි. බෙදුම්වාදයට පාර කපන බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ අවිනීත අන්දමට නඟන අවලාද අපමණය. ඒ අවලාද හරහා සුළු ජාතිකයන් කෙරේ වෛරය සමාජයේ මෝදු කරන තත්ත්වයකි විද්‍යාමාන වන්නේ. එය අවිනීත කි‍්‍රයා කලාපයක් පමණක් නොව භයානක කි‍්‍රයා කලාපයකි.

ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ඇතැම් තන්හි හඬ නඟන ඇතැම් ජාතිකවාදී දේශපාලනඥයන්, තමන්ගේ වපසරිය තුළ දී සුළු ජාතීන් ගැන කතා කරන්නේ වෛරයෙනි. ඔවුන් සැබෑ විසඳුමකට අවශ්‍ය කැපවීම වෙනුවෙන් පරිසරයක් ගොඩනැඟීම වළක්වන්නේය. මේ තත්ත්වය තුළ රටේ අනාගතය අඳුරින් අඳුරට යළි යළිත් තල්ලූ වෙන බවකි පෙනී යන්නේ. ජාතිකවාදී දේශපාලනඥයන් කියන දේශපාලන විසඳුම කුමක් ද? සුළු ජාතීන්ගේ ජීවත් වීමේ නිදහස ආරක්ෂා විය යුතුය. නැවත ලේ වැගිරීමක් අවශ්‍ය නැත. සාමය අවශ්‍ය වේ. එනමුත් සුළු ජාතීන් මේ රටේ යටත්වැසියන් සේ කටයුතු කිරීමට කොන්දේසිවලට යටත්ව කටයුතු කළ යුතුය. මෙය දේශපාලන විසඳුමක් වන්නේ කෙසේ ද?

මේ නිදහස වෙනුවෙන් කොන්දේසි රහිතව අරගල කිරීමට පොළඹවන්නකි. මෙහි භයානක ප‍්‍රතිවිපාක අත්වන්නේ රටට බව, රටේ අනාගතයට බව, ජාතිකවාදී බොහෝ දේශපාලනඥයන් කල්පනා කරන්නේ නැත. එය අභාග්‍යයකි.

තමන් උපන් බිමේ යටත්වැසියන් ලෙස ජීවත් වීමට කැමති කවුරුන් ද? කිසිම මනුෂ්‍යයෙකු කැමති නැත. එසේ කැමති වීම ද අවශ්‍ය නැත.
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ගැන කතා කරමින් පවසන්නේ බෙදුම්වාදය නීත්‍යනුකූල කරන බවයි. මේ අර්ථකථනය භයානකය. මුස්ලිම් ජාතිකයන්ගේ සාප්පුවලින් ගන්නා යටඇඳුම් ඇඳීමෙන් වඳභාවයට පත් වන්නේය යන මුසාවත් මෙවැනිමය. යුද්ධය නිසා වැනසුණ යාපනේ වැසියන්ගේ භෞතික සංස්කෘතියේ නටබුන් අප‍්‍රමාණය. එපමණක් නොව ඔවුන්ට අභෞතික සංස්කෘතියක් ගැන සිහින දකින්නට ද තත්ත්වයක් පේන දුරක නැත. ඔවුන් ප‍්‍රථමව ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ගම්බිම් ය. ඒ ඉල්ලීම අසාධාරණ ද? සාධාරණය. ඒ ඉල්ලීම ඉටු කිරීමට විශාල හමුදා කඳවුරු ඉවත් කිරීම අවශ්‍ය වන්නේය. ඒ දෙස බැලිය යුත්තේ මනුෂ්‍යත්වයට සාධාරණ දෘෂ්ටි කෝණයකිනි. ඒ දෙස වෛරයකින් හෝ තෘෂ්ණාවකින් නොබැලිය යුතුය.

“ඩයස්පෝරාව හිස ඔසවා ඇත. බෙදුම්වාදය හිස ඔසවා ඇත. නිදහස් කර ගත් රට පාවා දෙන්නට සැරසේ. ” මේ සියල්ල බලය වෙනුවෙන් නිර්මිත ප‍්‍රවාදය. මේ ප‍්‍රවාද ඔස්සේ ජාතිය එක්සේ සත් කිරීමට තිබෙන මාවත් හැකිළෙන්නේය. ජාතික සංහිඳියාවක් නැතිකම, ආගමික සංහිඳියාවක් නැතිකම රාජපක්ෂ හිතවාදීන්ට සැපතක් වුව, ඒ තත්ත්වය පොදුවේ නීතිගරුක පුරවැසියන්ට විපතකි. එබැවින් රාජපක්ෂ හිතවාදීන්ගේ අදහස් ජන විඥානයේ මුල් අල්ලා වැඞීම වැළැක්වීම අවශ්‍ය වන්නේය. රට පුරා ජාතිවාදය වැපිරීම පිළිකුලෙන් නීතිගරුක පුරවැසියන් හෙළා දැකිය යුතු වන්නේය.

 

මහාචාර්ය සරත් විජේසූරිය.
උපුටා ගැනීම: (රාවය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *