• Thu. Feb 2nd, 2023

මහින්දට නාම යෝජනා නෑ – ජනාධිපති මෛත්‍රී

BySandun

Jun 30, 2015

my3 & mr

මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

වාමාංශික පක්ෂ නායකයන් ඊයේ (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ අතර එහිදී එම පක්ෂවල ඉල්ලීමටද කන්දෙමින් ජනාධිපතිවරයා මේ බැව් අවධාරණය කළ බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් නොකරන ලෙස සුළු පක්ෂ රැසක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියලු පක්ෂවල සහය ලබාගැනීමට පත්කරන ලද අට පුද්ගල කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට සුළු පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද අට දෙනෙකුගෙන් යුත් කමිටුව ඊයේ (29) දෙමළ මුස්ලිම් ඇතුළු සුළු පක්ෂ නවයක නායකයන් හමුවී සාකච්ඡා කර තිබේ.

මෙහිදී සුළු පක්ෂ අතරින් දෙමළ හා මුස්ලිම් පක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබාගැනීම ගැටලුවක් නොවන බව ද ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මැතිවරණය මුහුණ දිය යුත්තේ ජනාධිපති ‍ෛමත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මිස පරාජයට පත් වූ දේශපාලනඥයකුගේ මූලිකත්වයෙන් නොවන බවත් ඔවුහු ප්‍රකාශකර තිබේ.

සුළු දේශපාලන පක්ෂ සමඟ මේ සාකච්ඡාවට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, රෙජිනෝල් කුරේ, සරත් අමුණුගම සහ තිලංග සුමතිපාල නියෝජනය කරති.

මෙම කමිටුව අද (30) තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *