දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සජින් ද වාස් ගුණවර්ධන, සරණ ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිව්දෙනාට මෙවර මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා මණ්ඩල එකඟතාවය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකුගේ නිවසේ පැවැත්විණ.
එම සාකච්ඡා මධ්‍යම රාත්‍රීය අවසන් වනතුරුද පැවැති අතර මෙහිදී නාමයෝජනා ලබාදීමේදී ප්‍රධාන කරුණු 4ක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබේ.
එහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවී ඇත්තේ දූෂණ චෝදනා එල්ල වූ අයට නාමයෝජනා ලබානොදීම සම්බන්ධයෙනි.
ඒ අනූව ඉහත සඳහන් හිටපු මන්ත්‍රීන් සිව්දෙනාට නාමයෝජනා ලබානොදීමට එම සාකච්ඡා ආරම්භවීමට මත්තෙන් පවා දෙපාර්ශවය එකඟතාවයකට එළඹ තිබූ බව සඳහන්ය.
එසේම දූෂණ චෝදනා එල්ල වී ඇති තවත් හිටපු මන්ත්‍රීන් 10 දෙනෙකු ගැන ද එහිදී අවධානය යොමුව ඇත.
ඒ අනූව මොවුන්ට නාමයෝජනා ලබාදීම අවිනිශ්චිත මට්ටමක පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර දැනට සකස් කර ඇති ශ්‍රීලනිප හා සන්ධාන නාමයෝජනා ලැයිස්තු අද දිනය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කර අවසන් එකඟතාවයකට පැමිණීමට නාමයෝජනා මණ්ඩලය සැලසුම් කර තිබේ.