• Thu. Feb 2nd, 2023

ministry of finance sri lanka and mahinda rajapaksa

නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් එතනෝල් ආනයනය කිරිම සඳහා අලුතෙන් බලපත්‍රය 28 ක් නිකුත් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

එහි මෙසේ සඳහන්ය.

ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරිම සුරාබදු දෙපාර්තුමේන්තු‍වේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන ආයතන කිහිපයක් තිබෙන අතර ඒවායේ මත්පැන් නිෂ්පාදනයේ නිමැවුම් අනුව නැවත එතනෝල් ආනයනය කිරිමේ බලපත්‍ර ඒ සුරාබදු දොපාර්මේන්තුවේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරනු ලබනුයේ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුවය. මුදල් අමාත්‍යවරයාගේ කිසිදු නිර්දේශයක් හෝ අධික්ෂණයක් මේ සඳහා අවශ්‍ය නොවේ.

යහපාලන රජයෙන් මාස තුනක් ඇතුළත එතනෝල් බලපත්‍ර 28 ක් ලබාදී ඇති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කී ඇතැයි හිටපු ජනාධිපතිතුමන් මෑතකදී ප්‍රකාශ කර තිබිණි. රවී කරුණානායක අමාත්‍යවරයා විසින් එතනෝල් බලපත්‍ර ලබා දි ඇතැයි යනුවෙන් හුවා දැක්විමට කර ඇති මෙම ප්‍රකාශය සත්‍යය විකෘති කිරිමක් වන අතර මහ ජනතාව නොමග යැවෙන සුළුය.

2014 වසර සඳහා එතනෝල් ආනයනය කිරිමේ බලපත්‍ර 104 මෙසේ සුරා බදු දෙපාර්තුමේන්තුවේ නිර්දේශය මත මත්පැන් නිෂ්පාදන ආයතනවලට නිකුත් කරන ලදී. එම බලපත්‍ර උපයෝගී කරගෙන පසුගිය වසරේදී එතනෝල් ලීටර් මිලියන 15ක් ලංකාවට ආනයනය කර ඇත.

මත්පැන් නිෂ්පාදන ආයතන වලට ආනයනය කරන ලද එතනෝල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරිගේ ඍජු අධීක්ෂණය යටතේ මත්පැන් නිෂ්පාදනය කෙරේ. මත්පැන් නිෂ්පාදනයට අමතරව කාර්මික පරික්ෂණ හා විශ්ව විද්‍යාලවල පරික්ෂණ කටයුතු සඳහා ද එතනෝල් මෙරටට ආනයනය කරනු ලබයි. ඒ අනුව මේ වසරේ මුල් මාස හයට එතනෝල් බලපත්‍ර 54 ක් ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කර ඇති අතර එයින් මත්පැන් නිෂ්පාදනය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර ගණන 38කි.

පසුගිය සමයේ මහා පරිමාණ දුෂණ හේතුවෙන් දේශපාලන හිතවතුන්ට ශ්‍රී ලංකාවට වංචනිකව හා නීති විරෝධිව එතනෝල් ගෙන්වීමට අවස්ථා ලැබිණි. ශ්‍රී ලංකා රේගුව විසින් අවස්ථා ගණනාවකදී මෙසේ නීති විරෝධි ලෙස ගෙන්වන ලද එතනෝල් බහාලුම් කොළඹ වරායේදී අත්අඩංගුවට ගන්නා ලදී. 2014 වසරේදී එතනෝල් ආනයනය කිරිමෙන් රජයට ලැබුණු මාසික ආදායම දල වශයෙන් රුපියල් මිලියන 3400කට පමණ සීමා විය.

එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන හිතවතුන්ට නීති විරෝධීව හා වංචනික ලෙස එතනෝල් ආනයනය කිරිම සඳහා තිබු ඉඩ ප්‍රස්ථාව මග හැරී ගියේය. එම නිසා ලංකාවට එතනෝල් ආනයනයෙන් රජයට ලැබෙන මාසික ආදායම පසු ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත.

එතනෝල් ආනයනයෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 3400.00ක් පමණ වු මාසික ආදායම 2015 වසරේ මාර්තු වන විට එය රු. මිලියන 9500.00 පමණ දක්වා වැඩි වුයේ යහපාලනය යටතේ වංචා හා දූෂණවලට වැට බැඳ විවෘත ආකාරයට දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව නව රජය කටයුතු කරන නිසා බැව් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටින වග මුදල් අමාත්‍යංශය කියා සිටියි.

වංචා දූෂණ හේතුවෙන් මෙතෙක් පාලකයින්ගේ හිතවතුන්ගේ සාක්කුවලට ගිය බදු අදායම් දැන් රජයට ලබා ගැනිමට හැකිවීමත් සමග යහපාලන රජයෙන් මහජන සුභ සාධන හා සංවර්ධන කටයුතු සඳහා පෙරටත් වඩා මුදල් වෙන් කිරිමට රජයට හැකිවී ඇතැයි මුදල් අමාත්‍ය කරුණානායක මහතා පවසන වග එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරයත් සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *