වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රුපියල් පනස් ලක්ෂයක මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ඊයේ (9 දා) පෙනී සිටින ලෙස මහ ඇමැතිවරයාට සහ බිරිඳට දැනුම්දී තිබුණද ඔවුන් එහි පැමිණ සිටියේ නැත.
හදිසි රෝගී තත්ත්වයක් බව කියමින් මහ ඇමැති බිරිඳ ඊයේ රෝහල්ගත වූ අතර ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇති බව කියමින් මහ ඇමැතිවරයාද එහි පැමිණියේ නැත.
මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන මහ ඇමැතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු වහාම අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග පැවැසීය.
මෙම සිද්ධිය පිළිබඳව මීට ඉහතදී මහ ඇමැති බිරිඳගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය හයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක් සංවර්ධනය කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට බව කියමින් මහ ඇමැති සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් තමාගෙන් රුපියල් පනස් ලක්ෂයක මුදලක් ලබාගත් බවත් ඒ සඳහා තවත් මුදල් ඉල්ලා සිටින බවත් කියමින් ව්‍යාපාරිකයකු විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පැවැසීය.