• Fri. Feb 3rd, 2023

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට අත්සන් තබයි

unf

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමු‍ණ පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (12)සිදු කෙරුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්, එක්සත් යහපාලන ජාතික පෙරමු‍ණ , මුස්ලිම් කොංග්‍රසය, කම්කරු ජාතික සංගමය, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් මේ පෙරමුණට එක් වී සිටිනවා.

ඉදිරි මහ මැතිවරණය සඳහා මෙම පක්ෂ සහ කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරග වදිති.

ජනවාරි අට වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහ ජනතාව රට නව දිශාවකට යොමුකරවීම සඳහා ලබාදුන් පැහැදිලි ජන වරමින් අපේක්ෂිත අරමුණු නැවත හැරවීම සඳහා ඇතැම් බලවේග පෙළ ගැසෙමින් පවතින වාතාවරණයක් යටතේ සියලු ප්‍රගතිශීලී සහ දෑහිතකාමී පිරිස් එක් වේදිකාවකට පැමිණ ජනාධිපතිවරණයේ ලැබුණු ජන වරම ආරක්ෂාකර ඉදිරියට ගෙන යාම ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇති හෙයින් එම අරමුණ පෙර දැරිකරගෙන සන්ධාන ගතවීමට මෙම පක්ෂ සහ කණ්ඩායම් තීරණයකට එළැඹ තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් රටේ සාමය හා සංහිඳියාව පිළිබඳ තීරණයකට එලැඹීමේදී රටේ ඒකීයභාවය සහා භෞමික අඛණ්ඩතාවය පිළිගැනීමට එකඟ වේ . ජනාධිපතිවරණයෙන් පසු ඉටු කරගැනීමට නොහැකිවූ යහපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ සියලු ප්‍රති සංස්කරණ ඉටුකරගැනීම මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලැබෙන අතර මනාප ක්‍රමය අහෝසි කර සෑම ආසනයකටම වග කියන මන්ත්‍රීවරයෙකු හිමිවන මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ප්‍රමුඛත්වය දීමට ද එකඟ වේ.

දින සියයේ වැඩපිළිවෙල යටතේ දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගත කරනු ලැබූ ව්‍යවස්ථා සභා සහ සියලු ස්වාධීන කොමිෂන් සභා නිසි පරිදි ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට ද එකඟ වේ. වංචාවට හා දූෂණයට එරෙ‍හි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ද තාරාතිරම නොබලා වැරැදි කරුවන් නීතිය හමුවට පැමිණ වීමට ද එසේම දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් දූෂණ හා වංචා සිදුකරන්නන්ට දැඩි දඬුවම් ලබා දීමට නව නීති සකස් කිරීමට ද තවදුරටත් එකඟ වීම ඇතුලුව තවත් කරුණු ගණනාවක් මේ ගිවිසුමට ඇතුළත් වේ.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ උදෑසන 10.25 ට එලැඹුණු සුබ මුහුර්තියේදී ප්‍රථමයෙන්ම අවබෝධතා ගිවිසුමට අත්සන් තැ‍බුවේ එක්සත් යහපාලන ජාතික පෙරමුණ නියෝජනය කරමින් අතුරලියේ රතන හිමියෝ සහ එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් කබීර් හෂිම්, සභාපති මලික් සමරවික්‍රම සහ අමාත්‍ය කරූ ජයසූරිය මහත්වරුන් අත්සන් තැබුහ. එහි සාක්කිකරුවන් ලෙස අත්සන් තැබුවේ මනෝ ගනේෂන් සහ කරුණාරත්න පරණවිතාන මහත්වරුන්ය. රතන හිමියෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආ‍ශිර්වාද කරමින් සුරතේ පිරිත් නූලක් ගැට ගැසුහ.

ඊ ළඟට එලැඹියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් නව පෙරමුණට එක් වන නියෝජිතයන් ගිවිසුම‍ට අත්සන් තැබූ අවස්ථාවයි. මේ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහත්වරු අත්සන් තැබුවේ උදෑසන 11.08ට එළැඹි සුබ මොහොතේදීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප නියෝජිතයිනයෝ ද අත්සන් තැබුහ.අත්සන් තැබීමෙන් පසුව පාර්ශ්වයන් විසින් ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු වූ අතර ඉන් පසුව සියලු දෙනාම සුහද පිළිසඳරේ නිරත වෙමින් තේ පැන් සංග්‍රහයකට එක් වූහ.

මේ අවස්ථාවට පෙරමුණට එක් වූ සියලුම පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *