ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍ය බෙදා හරිමින් මහජන මුදල් සහ දේපළ අයථා පරිහරණය කිරීම් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පවත්වමින් සිටින බව නීතිපතිවරයා ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.
ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මහජන මුදල් නාස්ති සහ අවභාවිතා කළ බවට චෝදනා කරමින් පැෆරල් සංවිධානය ගොනු කළ පෙත්සමක් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල්පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (13) කැඳවන ලදී.
මැතිවරණ කොමසාරිස්වරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි අධ්යක්ෂ ජනරාල්වරිය, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු කිහිපදෙනෙකු මෙහි වගඋත්තරකරුවෝ වෙති. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතුවලට අදාළ සිද්ධි රැසක් වාර්තා වූ බව පෙත්සමෙහි සඳහන් විය.
ඒ සඳහා රජයේ මුදල්, දේපළ මෙන්ම සේවකයන් යොදාගෙන තිබූ අතර ජනාධිපති ධුර අපේක්ෂකයකුගේ සේයාරුව ඇතුළත් පත්‍රිකාවක් සහිතව සිල් රෙදි ලක්ෂ 8ක් රට පුරා බෙදාහැර ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 100ක් බව පැවසේ.
එසේම මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගෙන ඇති අතර වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමේ උත්සව ඇතුළු නිල උත්සවයද මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබේ.
එම සිල්රෙදි, ලිත් බෙදාහැරීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද රජයේ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මැතිවරණ ප්‍රවර්ධන, ප්රචාරක ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේය.