1994 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් පනත සම්මත කොට කොමිසම ස්ථාපිත කර වසර 21ක් ගතවෙද්දී දේශපාලනඥයකුට එරෙහිව මෙතෙක් පවරා ඇත්තේ එක් නඩුවක් පමණි.
නීතිමය ප්රශ්නයක් මත එම දේශපාලකයාද එම චෝදනාවෙන් නිදහස් වී තිබේ. ඒ මහාධිකරණයෙන් දෙන ලද තීන්දුවකට අනුවය.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමට පෙර අදාළ දේශපාලකයාද මියගොස් ඇත.
මේ තොරතුරු අල්ලස් කොමිසමෙන්ම අනාවරණය වී ඇත්තේ නීතිඥයකු අල්ලස් සිද්ධියක් පිළිබඳ කොමිසමට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදීය.
නීතිඥයාට මේ බව පැවැසූ කොමිසමේ නිලධාරියාගෙන් ඔහු විමසා සිටියේ අවුරුදු 21 කටම මේ රටේ කිසිම දේශපාලනඥයකුට එරෙහිව අල්ලස් චෝදනාවක් එල්ල වී නැත්තේ මේ රටේ දේශපාලනඥයන් ඉතා පිවිතුරු, අවංක පුද්ගලයන් නිසාද යන්නයි.
එයට කිසිදු පිළිතුරක් නොදුන් නිලධාරියා සිනාසීම හැර, කටින් වචනයක්වත් පිට නොකළ බව එම නීතිඥයා පැවැසීය.
(මව්බිම)