මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර මත්කුඩු චෝදනාවට ලක්වූ කිසිදු අපේක්ෂකයකු එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඊයේ සඳහන් කර තිබෙනවා.
මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාමලේඛනවල මත්කුඩු චෝදනාවට ලක් වූවන් සිටිනවාද යන්න දැන ගැනීමට අවශ්‍ය නම් පක්ෂ ලේකම්වරුන්ගෙන් නාමලේඛන එවන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවද හෙතෙම කීය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සතුව මත්කුඩු චෝදනාවට ලක්වූවන් 25 දෙනකුගේ නම් ඇතුළත් ලේඛනයක් තිබෙන බවත් අදාළ පක්ෂ ලේකම්වරයා එවන ලේඛනය සලකා බලා චෝදනාවට ලක්වූවන් සිටී නම් ලේකම්වරයා පමණක් දැනුවත් කිරීමට තමන් වග බලා ගත් බවත් හෙතෙම කීය.
එක්සත් ජාතික පක්ෂ නාමලේඛනයේ මත්කුඩු චෝදනා නැතත් බැංකු මංකොල්ලකෑම් ඇතුළු චෝදනා කිහිපයකට ඇතුළත් පිරිස් එම ලේඛනයේ ද සිටි බව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.