සිවිල් ඇඳුමින් සැරසී ව්‍යාජ අංක තහඩු සහිත සුදු වෑන් රථයකින් මිරිහාන ප්‍රදේශයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂකයන් බව කියන සන්නද්ධ හමුදා සෙබළුන් තිදෙනකු පෙරේදා (20 වැනිදා) මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම හමුදා සෙබළුන් සන්තකයේ මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම සුදු වෑන් රථය පෙරේදා (20 දා) රාත්‍රියේ අවස්ථා කිහිපයකදීම මිරිහා ප්‍රදේශයේ විවිධ මාර්ග ඔස්සේ ගමන් කරනු දුටු මිරිහාන රථවාහන අංශ නිලධාරින් ඒ පිළිබඳ ඇතිවූ සැකයක් මත එය නවතා පරීක්ෂා කිරීමේදී සැකකාර හමුදා සෙබළුන් පොලිසියට කොටු වී ඇත.
අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරි කරන හමුදා සම්බන්ධීකරණ ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂකයන් බව පොලිසියට සඳහන් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඔවුන් සන්තකයේ තිබූ මිලිමීටර් නවය වර්ගයේ රිවෝල්වරයද මේජර් ජෙනරාල්වරයාට යුද හමුදාවෙන් නිකුත් කළ එකක් බව සැකකරුවන් පොලිසියට පවසා ඇත.
සැකකාර හමුදා සෙබළුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම්වලදී තමන් රාජකාරියකට යමින් සිටි බව ඔවුන් පවසා ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි තහවුරු කිරීමක් සිදු කිරීමට නොහැකි වී තිබේ.
ඒ අනුව අදාළ වෑන් රථය සහ ගිනි අවිය ඇතුළු හමුදා සෙබළුන් සම්බන්ධයෙන් යුද හමුදා පොලිසියට දැනුම් දීමට මිරිහාන පොලිසිය පෙරේදා රාත්‍රියේම කටයුතු කර ඇති අතර එහිදී වෑන් රථය සහ ගිනි අවිය යුද හමුදාවට අයත් ඒවාදැයි සඳහන් කරන ලෙසද පොලිසිය යුද හමුදා පොලිසියට දන්වා යවා ඇත.
මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් විමසීමකදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය සහ හමුදා මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.
එම විමර්ශනයට අනුව අදාළ හමුදා සෙබළුන් යම් නීති විරෝධි ක්‍රියාවක යෙදී ඇති බවට තහවුරු වුවහොත් තරාතිරම නොබලා මීට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවිසීය.අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් මිරිහාන පොලිසිය මගින් ඊයේ (21 දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදා හැර තිබේ.කොළඹ දකුණ ප්‍රදේශය භාර නියෝජය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.