• Sat. Jan 28th, 2023

ranil

එක්සත් ජාතික පෙරමුණ රජයක් යටතේ රට සංවර්ධනය කරා ගෙන යන යෝධ සැලසුම් වැඩසටහන ඇතුළත් “ඔබේ ප්‍රශ්නයට අපේ විසඳුම්“ නම් පංච මහා සැලැස්ම අද (23) එළි දක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ මූලික ප්‍රශ්න, තේමාවන් පහක් යටතේ වර්ගීකරණය කර ඒවාට එක්සත් ජාතික පෙරමුණ රජය විසින් ලබා දෙන විසඳුම් මෙම සැලැස්ම යටතේ ඉදිරිපත් කර ඇතැයිද අගමැතිවරයා කීය.

මෙවර මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මඩකලපුවේ ඊයේ (21) පැවති ජන රැලියකට සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා ඒ බව පැවසීය. මඩකලපුවේ සිංහල ,දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මැද රැලිය ඇමතූ අගමැතිවරයා රටේ මූලිකම ගැටලුව වන ආර්ථිකය වැඩි දියුණු කර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම සහ සමස්ථ ජනතාවගේ ආදායම වැඩි දියුණු කිරීම සඳහා පංච මහා සැලැස්මේ ප්‍රමුඛත්වය ලබා දෙන බව කීය. දෙවනුව ජනතාවගේ සුබ සාධනය සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කර ඇතැයි ද අගමැතිවරයා කීය.

පසුගිය පාලන සමය තුළදී රට තුළ විශාල ලෙස සිදු වූ දූෂණ සහ වංචා තුරන් කර යහපාලනය රජ කරන ශ්‍රී ලංකාවක් බිහි කිරීම සම්බන්ධයෙන් සිය පෙරමුණ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ද මෙම මැතිවරණ ප්‍රකාශයේ ඇතුළත් කර ඇති බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනවාරි 8 දා ජනාධිපතිවරණයෙන් පසුව රට සහ ජනතාව ලැබූ ප්‍රජාතාන්ත්‍රීය නිදහස වැඩිදුරටත් ස්ථාපිත කිරීම කර තහවුරු කිරීම සඳහා සිය මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා රටේ සැබෑ නිදහස ,ආර්ථිකය සුරක්ෂිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මෙන්ම අධ්‍යාපනය දියුණු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් ද මෙම පංච මහා සැලැස්මේ අන්තර්ගත වන බව ප්‍රකාශ කළේය.

මෙහිදී රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා රජය ගන්නා වූ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් විස්තර කළ අගමැති වික්‍රමසිංහ මහතා ගමට – රටක් වැඩසටහන ක්‍රියාත්මක කර ගමේ ආර්ථිකය දියුණු කිරීමට පියවර ගන්නා බවත් විශාල ව්‍යාපාරිකයන් සඳහා ආයෝජන මණ්ඩලය වැඩ කටයුතු සිදු කරන ආකාරයට සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් සුළු ආයෝජන මණ්ඩලයක් ඇති කර එහි ශාඛාවන් රටේ සියලුම මැතිවරණ කොට්ඨාසවල ඇති කරන බව ද පැවසීය.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ දියුණු නොවූ මඩකලපුව සහ ත්‍රිකුණාමල ප්‍රදේශවල ඉඩම් වැඩි දියුණු කර එහි ජනතාවට ජීවත් විය හැකි ආකාරයේ ආදායම් මාර්ග ඇති කරන බව අගමැතිවරයා වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, මඩකලපුව ආසන සංවිධායක ඒ.ශසිදරන්, එම්.එල්.ඒ.ලතීෆ්, ෆාස්ටර් ජෝන්, ගනේෂමුර්ති, ජෙගන්, රූබී යන ඇතුළු එජාප අපේක්ෂක මහත්වරු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *