• Sat. Jan 28th, 2023

anura kumara

රට ඉදිරියට යෑමට නම් ආර්ථික වර්ධනය සේම ආර්ථික සාධාරණත්වයක් තිබිය යුතු බවත්, එහෙත් මේ රට අවුරුදු 67 ක් පුරා පාලනය කළ පාලකයන් මේ තත්ත්වය රටට උදානොකළ බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා ලෝකයා ඉදිරියට යනවිට අප රට පසුපසට ගමන් කළ බවත්, ආර්ථික වර්ධන වේගයක් නොමැති, ආර්ථිකයේ සාධාරණත්වයක් නොමැති තැන ඒ රටේ ජනතාව අධ්‍යාපනය, සෞඛ්‍ය හා මූලික අවශ්‍යතාවල සමඅයිතිය නොලැබෙන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ජාතික ආදායමෙන් 55% භුක්ති විඳින්නේ රටේ ජනගහනයෙන් 20% ක ප්‍රමාණයක් බවත්, රටේ පහළම 20% දෙනා භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 3.6% ක් බවත් පැවසූ පක්ෂ නායකවරයා, රටේ ජනගහනයෙන් 42% කගේ දෛනික ආදායම ඩොලර් 02 ක් බවද සඳහන් කළේය.
මෙම විෂමතා තුළ රට දියුණු කළ නොහැකි බවත්, පවුලකට ජීවත්වන්නට ආදායමක් නොලැබෙනවා නම් පදිංචියට නිවසක් නොමැති නම්, නිසි සෞඛ්‍ය සේවාවක්, අධ්‍යාපනයක් නොලැබෙනවා නම් ඒ රට ගැන අමුතුවෙන් කතා කළ යුතු නැති බවද ඔහු පවසා සිටියේය.
මේ රට ගොඩගත හැක්කේ රටට ආදරය කරන මිනිසුන්ට පමණක් බවත්, එම අවස්ථාව ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවද හෙතෙම සඳහන් කළේය. ඊට අවශ්‍ය සැලසුම් ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ නමින් එළිදක්වා තිබෙන බවත්, ඒ සඳහා සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද ඒ මහතා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *