• Thu. Feb 2nd, 2023

election commissioner and maithripala sirisena

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් විශේෂ ප්‍රකාශය පසුගිය බදාදා (22දා) දිනයේදී පොතක් ලෙස රජයේ මුද්‍රණාලයේදී මුද්‍රණය වෙමින් පැවැතියදී රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා මහතාට කතා කර ඇති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එම මුද්‍රණ කටයුතු සියල්ල වහාම අත්හිටුවන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ ඉහළ පෙළේ සාමාජිකයන් පිරිසක් එම ප්‍රකාශය මුද්‍රණය කර රට පුරා බෙදාහැරීම වෙනුවෙන් මුද්‍රණය කළ යුතු පොත් සංඛ්‍යාවද රජයේ මුද්‍රණාලයාධිපතිවරයාට ඉකුත් 22 වැනිදා දැනුම් දී ඇති බවත් ඒ අනුව මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බවත් අනාවරණය වෙයි.
කෙසේ වෙතත් කිසියම් පාර්ශ්වයක් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති අතර එම පොත රට පුරා බෙදාහැරීමෙන් එක් පාර්ශ්වයකට අගතියක් සිදුවන බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා එදින (22දා) රාත්‍රියේදීම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ එම මුද්‍රණ කටයුතු වහාම නතර කරන ලෙසයි.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය විටින් විට විද්‍යුත් මාධ්‍ය හරහා විකාශය කිරීමෙන් එක් පාර්ශ්වයකට අගතියක් සිදුවන බැවින් එය විටින් විට විකාශය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මීට පෙරද එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා එම ප්‍රකාශයේ කොටස් උපුටා දක්වමින් විටින් විට විකාශය නොකරන ලෙසට මාධ්‍ය ආයතනවලට උපදෙස් ලබාදී තිබිණි.

යහපාලන ආණ්ඩුවක් යටතේ පවත්වන පළමු මැතිවරණය මෙම මැතිවරණය වන අතර සුලු සිද්ධීන් හැරුනු කොට පෙර පැවති මැතිවරණ හා බලන කල විශාල වශයෙන් මැතිවරණ නීති කැඩීම් වාර්තා නොවන බව මැතිවරණ නිරීක්ෂක සංවිධාන පෙන්වා දෙනවා.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය නිදහසේ සිදුකරගෙන යෑමට නිදහසක් මෙන්ම නීති පටිපාටිවලට අනුකූලව රාජකාරිය සිදුකිරීමට ඔවුනට හැකිව ඇති බව එම සංවිධාන තවදුරටත් වාර්තා කර සිටිනවා.

 

(මව්බිම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *