• Mon. Feb 6th, 2023

ranil

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයෙන් දිනුවේ කොටි සමඟ ගිවිසුමක් අත්සන් කර ප්‍රභාකරන්ට මිලියන 200ක් ලබාදීමෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේ ය.ප්‍රභාකරන් තමන්ට පණිවුඩයක් ලබාදෙමින් ඒ බව පවසා ඊටත් වඩා මුදලක් ලබාදී ගිවිසුමකට එන්නේ නම් තමන්ට සහාය ලබාදිය හැකි යැයි ප්‍රභාකරන් පැවසූ බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් අගමැතිවරයා කියා සිටියේ ය.

අගමැතිවරයා මේ බව අනාවරණය කළේ දඹදෙණිය හා මීරිගම ඊයේ පැවැති ජන රැලි දෙකක් අමතමිනි. අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේ ය. “පරාජය දැකලා මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිවාදය අදිනවා. උතුරු, නැ‍ඟෙනහිර වෙන් කරන්න ගිවිසුමක් ගහන්න යනවාලු. මම එතුමාට කියනවා 2005 ජනාධිපතිවරණයේදී මම එජාප අපේක්ෂකවරයා ලෙස ප්‍රභාකරන් මට පණිවුඩයක් එව්වා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කතා කරනවා එතුමා මට සල්ලි දෙන්න ලැහැස්තියි.

ඔබතුමාත් ගිවිසුමක් ගහලා ලියුමක් දීලා සල්ලි දුන්නොත් මම යූ. එන්. පී. යට වැඩ කරන්නම් කියලා. මම කිව්වා මම ඒකට ලැහැස්ති නැහැ කියලා. ප්‍රභාකරන්ට ලියුමක් දෙන්න මම අගමැති කාලේ අත්සන් කළේ නැත්නම් මම දැන් මොකට ද අත්සන් කරන්නේ කියලා මම ඔහුට කිව්වා. මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත එදා අගමැතිවරයා වෙනුවෙන් සාකච්ඡා කරන්න මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි ගියා. ඒ අනුව ගිවිසුමක් අත්සන් කරලා රුපියල් මිලියන 200ක් දුන්නා. ඒ අනුව ප්‍රභාකරන් දෙමළ ජනතාව ඡන්දය දෙන එක වැළැක්වූවා.

මම ප්‍රභාකරන් සමඟ ගිවිසුම් ගහන්න කැමති වුණේ නැහැ. මම මගේ ප්‍රතිපත්තියේම සිටියා පැරදුනත් කමක් නැහැ කියලා. මම වෙස්සන්තර රජු වගේ අවුරුදු 10ක් කැලයේ ඉඳලා තමයි ආවේ. ඒවා කළේ කවුද කියලා දැනගන්න ඕනෑ නම් හෙට උදේ නැඟිට්ටාම කණ්ණාඩියක් ළඟට ගිහින් මුහුණ බලන්න කියලා ඒ අයට කියන්න කැමතියි. මහින්ද රාජපක්ෂ මහතා රාධා ආයතනය මගින් ගෙවල් හදනවා කියලා මිලියන 2000ක් එල්. ටී. ටී. ඊ. එකට දුන්නා. මාවිල්ආරු පටන් ගන්න‍කොටත් සල්ලි දුන්නා. ඒක නතර කළේ 2006 දෙසැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ගැහුවට පස්සෙයි.

මේ සල්ලි ප්‍රභාකරන්ට ලබා දුන්නේ රාජපක්ෂ පවුලට අත තියන්නේ නැහැ කියලයි. මාවිල්ආරුවල මිනිස්සු මරණ කොට මේ අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ අය හිතුවේ නැහැ මාවිල්ආරුවල යුද්ධයක් ඇතිවේවි කියලා. අන්තිමේදී පාඨලී චම්පික, රතන හාමුදුරුවෝ තමයි ගෝරියක් දමලා යුද්ධය පටන් ගත්තේ යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *