• Thu. Feb 2nd, 2023

unp and mahinda

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂයට පසුගිය කාලයේ එල්ල වූ චෝදනා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ උප නායක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා කළ සම්මුඛ සාකච්ඡාවකි.

එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද.? විපක්‍ෂය ඔබට අභියෝගාත්මකද.?

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉතාම පැහැදිළි අරමුණකින් ජයග‍්‍රාහී ගමනක් යනවා. අපේ ජයග‍්‍රහණය ස්ථිරයි. ඒක දරා ගන්න බැරි පොදු විපක්‍ෂයේ ඇතැම් කණ්ඩායම් මහින්ද රාජපක්‍ෂව කුලප්පු කරගෙන පිස්සු හැදුනා වගේ අරමුණක් නැතිව ගමනක් යනවා. ඔවුන් පරාජය දැකලා වියරු වටිලා ඉන්නේ. දැන් දින හතර පහක සිට මේ වියරුව. ඔවුන් කොච්චර වියරුවෙන් වැඩ කෙරුවත් අපිට කිසි අභියෝගයක් නැහැ.

ඔවුන් ඉන්නේ විපක්‍ෂයේ. ඔබලා ආණ්ඩු පක්‍ෂයේ. ඉතින් විපක්‍ෂය හෝ මහින්ද කණ්ඩායමේ පිරිස් නීති විරෝධි ක‍්‍රියා කරනවා නම්, සාමය කඩකරනවා නම් ඊට විරුද්ධව රජයට ක‍්‍රියාකරන්න බැරි ඇයි.?

තාම ඔවුන් වටා හිටිය හොල්මන්, සෙවනැලි ක‍්‍රියාත්මකයි. සජින්වාස්ගේ ආසනයේ තිබිලා රිමෝට් කොන්රෝල් බෝම්බයක් හම්බ වෙනවා. ඒ වගේම සුදු වෑන් සංස්කෘතිය ආයෙ මතුවෙලා තියෙනවා. බ්ලූමැන්ඩල්වලදී මගේ ආධාරකරුවන් පිරිසකට නිකරුනේ වෙඩි තිබ්බා. දින දහයක් ඇතුළත සිදුවීම් අටක් සිද්ධවෙලා තියෙනවා.පසුගිය රජයේ තිබුණ එතනොල්, හොර සිගරැට් සංස්කෘතියේ කොටස් තාම තියනවා. අපේ රේගුව දක්‍ෂ නිසා ඒවා අල්ලගන්න සමත් වෙනවා. මැලේසියාවේ ඉන්න කුඩු රජවරුන්ගේ සහය මහින්ද පිලට ලැබෙනවා කියලා පැහැදිලියි. ප‍්‍රධාන පෙළේ කුඩු රාජා එක්ක ගෝඨාභය අතට අත දෙන ඡායාරූප මාධ්‍ය මගින් ප‍්‍රචාරයවෙනවා. ඒ එක්කම කුඩු රැජිණකුත් අහුවෙනවා. මේවා විමර්ශනය කරමින් පවතිනවා. අපේ ආණ්ඩුවක් යටතේ වැරදි කරුවන්ට දඬුවම් දෙනවා. දුෂණ භීෂණ නැත්තටම නැතිකරලා දානවා.

ranjan5බ්ලූමැන්ඩල් සිද්ධිය ඔබේ මැතිවරණ ව්‍යාපාරයට බලපෑවේ කෙසේද.? එයින් පසු ඔබේ මැතිවරණ ව්‍යාපාරයේ පසුබෑමක් තියනවද.?

එම සිද්ධිය සමස්ථ මැතිවරණ ව්‍යාපාරයටම ඇති වූ අඳුරු පැල්ලමක්. ජනවාරි 8 වෙනිදා පොදු අපේක්‍ෂක ජයග‍්‍රහණයෙන් පසුව මේ රට යම් හොඳ දිසාවකට ගමන් කෙරුවා. යහ පාලනයක් ඇති වුණා. ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ සඳහා විශාල කැපවීමක් කෙරුවා. අපේ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, අපේ පක්‍ෂය එයට උපරිම අයුරින් දායක වුණා. හොඳ මාධ්‍ය සංස්කෘතියක් ඇති වුණා. ඒ වගේම මෙම මහ මැතිවරණයත් ඉතිහාසයේ කවරදාටවත් වඩා ඉතා හොඳින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සිද්ධවේගෙන ආවා.
බ්ලූමැන්ඩල් පාරේ දි නිරායුධ මගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමක් සිදුවුණා. අහිංසක දරුවන් තිදෙනෙකුගේ මවක් නැති වුනා. සම්පත් කියලා තවත් තරුණයෙකුගේ ජීවිතය නැතිවුණා. ඔහු තිදරු පියෙක්. මගේ මැතිවරණ ව්‍යාපාරයේ පුද්ගලික පසුබෑමක් නැහැ. මැතිවරණ කටයුතු වෙඩිතියලා නවත්වන්න බැහැ. නොනැවතී ඉදිරියට යනවා.

ඇතැම් අය කියනවා, සිරගත වී සිටි පාතාලයේ මැරයන් දේශපාලන කටයුතු සඳහා මැතිවරණයට පෙර එළියට ගත් බව. එසේ සිරගත වී සිටි පතාල මැරයන් ඔබගේ මැතිවරණ කටයුතුවල නිරතව සිටිනවද?

මම මොකටද එහෙම කරන්නේ.? මම ජනතාව සමග සිටින දේශපාලඥයෙක්. මට එහෙම කරන්න කිසි උවමනාවක් නැහැ. මම එහෙම කරලා තියෙනවා නම් දින වකවානු, නම්ගම් එක්ක මාධ්‍යයට හෙළි කරන්න.රාජපක්‍ෂලා වගේ අපි පාතලය සමග සම්බන්ධකම් පවත්වන්නේ නෑ. ඒ කාලේ ඇති කරපු පාතාලය තවම හොල්මක් කරනවා. අපිට එහෙම දේශපාලනයක් කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ පිරිසිදු දේශපාලනයක්. අපිට කැත දේශපාලනයක් කරන්න අවශ්‍ය නෑ. ගරු ජනාධිපති තුමාත්, අගමැතිතුමාත් කියන්නේ මේ ත‍්‍රස්තවාදි දේශපාලනය රටින් අතුගාලා දාන්න ඕනෑ කියලා.

බ්ලූමැන්ඩල් සිද්ධියෙන් තුවාල ලබා මිය ගිය තරුණයා පතාල ප‍්‍රබලයෙකු වන ආමි සම්පත් යනුවෙන් මාධ්‍ය මගින් හඳුන්වලා තියෙනවා. ඔහු පාතාල සාමාජිකයෙක් ද.?

නැහැ ඔහු පාතාල සාමාජිකයෙක් නෙමේ. පාතාල සාමාජිකයන් මම සමග දේශපාලන ව්‍යාපාරයේ නැහැ. ඔහු ඉතාම අහිංසක තරුණයෙක්. පාපිසි, බුමුතුරුණු විකිණීම සිය ජීවන වෘත්තිය කරගත් තරුණයෙක්. දරු තිදෙනෙකුගේ පියෙක්. අහිංසක මිනිසුන්ට එහෙම කතා කියන එක සහගහන අපරාධයක්. තිලංග සුමතිපාල හා ඩිලාන් පෙරේරා තමයි කියන්නේ මේ අය පාතාලයට සම්බන්ධයි කියලා. තිලංග සුමතිපාල මේ තරම් විස්තර දන්නවා නම් ඇයි එයා සී.අයි.ඞී.යට පැමිණිලි කරන්නෙ නැත්තේ.? පොලීසියට පැමිණිලි කරලා පාතාලය අත්අඩංගුවට ගන්න කියලා කියන්න. ඩිලාන් පෙරේරා මාධ්‍යයට කියනවා විතරයි. ඇයි අඩුම ගානේ පොලීසියටවත් කියන්නේ නැත්තේ.? ඔවුන්ගේ ජීවිත නැතිවුණා විතරක් නෙමේ, දැන් ඔවුන් පාතාලයට දාන්නත් හදනවා. ඔවුන්ට බොරු චෝදනා එල්ල කළ අය සමාව ගත යුතුයි. කියපු දේ ඉල්ලා අස්කරගතයුතුයි.

ඔබේ කණ්ඩායමේ ඇතැම් පිරිස් ද ඔබට චෝදනා කර තිබෙන බවක් පැවසෙනවා.

කීපදෙනෙක් එහෙම කතා කරලා තියෙන බවට ආරංචියක් තියනවා. මම දැන් ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ.

ඔබ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද?

මම වහාම පොලිස්පතිතුමාට කතා කරලා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කරන්න කියලා දැනුම් දුන්නා. බුකි කාරයොද මේ පරීක්‍ෂණ කරන්නේ. බුකිකාරයෝ කියනදේද ජනතාව පිළිගන්නේ.? මේ පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් කළ යුතුමයි.

ඔබ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප‍්‍රචාරක කටයුතු සිදුකළ අවස්ථාවකදීද මේ සිදුවීම සිදුවුනේ?

නෑ. ගෙයින් ගෙට ගියානම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මම ඇතුළු පිරිස ගියේ පාරේ ඇවිදිමින්.

එම සිද්ධියෙන් අසරණ වූ පවුල් වලට ඔබතුමන්ලා යම් පිළිසරණක් වෙනවද?

ඔව්. එම මියගිය තැනැත්තියගේ ගෙදරට මමත් අගමැතිතුමාත් ගියා. ඒ නැතිවෙච්ච ගෑණු කෙනා මැතිවරණ වැඩකටයුතුවලට උදවවෙන්න ඇවිත් තියෙන්නේ ගෙයක් ලබා ගන්නත්, වැඩිමහල් දරුවට රැුකියාවක් ලබාගන්නත් අපි ඒ ඉල්ලීම් ඉෂ්ඨ කරනවා. මේ ගෑණු කෙනා පහුගිය ආණ්ඩුවෙන් ගෙයක් ලබාගන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඒක ඉටු වෙලා නැහැ.

ඔබට කරන චෝදනා සම්බන්ධව ඔබ නීතිය හමුවට යනවද?

ඔව්. මම දැනටමත් මගේ නීතිඥ මහත්වරුන්ට මේ පිළිබඳව දැනුම් දීලයි තියනේ. මට යම් අගතියක් සිදුවෙලානම් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීම අනිවාර්යයි.

නැවතත් බඩු මිල අඩුකිරීමක් සිදුවෙනවද? විශේෂයෙන් ගෑස් මිල අඩුවන බවට රාවයක් තියනවා. එසේ කරන්න යනවාද?

කරන්න හැකියාවක් තිබුණත් මැතිවරණය අවසන් වනතුරු කරන්නෙනෑ. මැතිවරණය අවසන් වූ වහාම සැලකියයුතු සහන රැුසක් ලැබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා ප‍්‍රකාශ කරනවා ඡුන්දයට බලපෑමක් ඇති වන නිසා එවැනි තීරණ ගන්න එපා කියලා.

දින 100 යේ වැඩපිළිවෙල ගැනත්, ඔබලාගේ කෙටිකාලීන ආණ්ඩුව ගැනත් සෑහීමකට පත්වෙනවද?

ඔව්. සෑහීමකට පත්වෙන්න පුළුවන්. ජනතාව ඒ පිළිබඳව තෘප්තිමත් වෙනවා. එයයි අවශ්‍ය. අපේ ආණ්ඩුවට දින 189 යි. අපි වැඩකටයුතු රැසක් කෙරුවේ සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යමින්. බහුතර විපක්‍ෂය අපට කරදර කරද්දියි අපි විශාල වැඩකොටසක් කෙරුවේ. අපිට ඔවුන්ගෙන් කිසි සහයෝගයක් ලැබුණේ නැහැ. ජනතාවට සහන දෙනකොට එයාලා කකුලෙන් ඇද්දා. අපි දූෂණය, භීෂණය, සුදු වෑන් සංස්කෘතිය නැතිකෙරුවා. මාධ්‍ය නිදහස ඇති කෙරුවා. රජයේ මාධ්‍යය මධ්‍යස්ථව කටයුතු කරනවා දැන් ඔබට දකින්න තියනවා. ගෑස් මිල, ඉන්දන මිල, අත්‍යාවශ්‍ය බඩුමිල අඩුකෙරුවා. දින 189 කට කරන්න බැරි ප‍්‍රාතිහාර්යයක් අපි කරලා පෙන්නුවා.

ජයග‍්‍රහණය පිළිබඳ ඔබලාගේ තක්සේරුව කෙසේද?

ජයග‍්‍රහණය ස්ථිරයි. ඒක කෙසේවත් නවත්වන්න බෑ. අපි සටන ආරම්භයට වඩා වැඩි ස්ථාවරයක අද අපි ඉන්නවා. මහින්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙහෙයවීම අපිට වාසිසහගත අයුරින් බලපෑවා.

මනාප පොරය නිසා ඔබ කණ්ඩායම අතර මත බේද, ගැටුම් නිර්මාණය වී තියෙනවද?

මගෙ පැත්තෙන් නැහැ. මම කණ්ඩායම කණ්ඩායම් හැගීමෙන් වැඩ කරනවා. මගේ පැත්තෙන් කිසිම ගැටුමක් නැහැ. තමන්ගේ මනාප ගොඩ වැඩි කරගැනීමට කවුරුත් උත්සාහ කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එය ශිෂ්ඨ සම්පන්නව කළ යුතුයි.

ජයග‍්‍රහණයෙන් පසුව ඔබලා ගේ ක‍්‍රියාමාර්ග මොනවද?

අපි ජයග‍්‍රහණය කරලා ජනතාවට උපරිම සේවයක් කරනවා. එහෙම නැතුව දේශපාලඥයාට, දේශපාලන පක්‍ෂයකට පැවැත්මක් නෑ. පොරොන්දුවලට සීමා වෙලා දේශපාලනය කරන්න බැහැ. පොරොන්දු ඉටු කිරීම අනිවාර්යෙන්ම කරනවා. ඒ වගේම කාටවත් අත නොපා ජීවත්වීමට හැකි ආර්ථිකයක් ඇති කරනවා. නව ලොවට නව දැක්මක් ඇති ජාතියක් බිහි කරනවා.

රට පිළිබඳව ඔබේ දැක්ම කුමක්ද?

මම කියන්න ඕනෑ. අපි අපේ රට ගැන හැගීමක් ඇතිකරගන්න ඕනෑ. මුලින්ම ජාතිවාදය පිටු දකින්න ඕනෑ. සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ ඇතුළු අපි හැමෝම ශ‍්‍රී ලාංකිකයෝ. ඒ හැගීමෙන් රට දියුණු කරන්න ඕනෑ. රටේ ආර්ථික ප‍්‍රශ්න වලට වහාම විසඳුම් දෙන්න ඕනෑ. අල්ලස, කොමිස්, දූෂණ. පතාලය, මැරකම සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න ඕනෑ. අපි දියුණු ලෝකයට පියනගන්න ඕනෑ. ජනතාවට පහසුවෙන් ජීවත් වෙන්න මාර්ග හදලා දෙන්න ඕනැ.

 

(යුක්තිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *