• Tue. Feb 7th, 2023

mahindananda

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටියේ පිහිටි රක්ෂිතයකින් රුපියල් 69000ක වාර්ෂික බදු මුදලකට මහින්දානන්ද අලුත්ගමගේ පදනමට ලබාගත් ඉඩමක තැනූ ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 12ක වාර්ෂික කුලියකට නැවත රජයේ ආයතනයකට ලබාදී අයථා ලෙස මුදල් උපයා ගැනීමේ වංචාවක් අනාවරණය වේ.

එම පදනම හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අයත් වන අතර රජයට අයත් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (නයිටා) ට නැවත කුලියට දීමට ද මූලික වී ඇත්තේ ද ඒ මහතා වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රජය සමඟ හෝ රජයට අනුබද්ධ කිසිදු ආයතනයක් සමඟ ගිවිසුම් ගතවීම නීති විරෝධී වේ.

ඒ නිසා අලුත්ගමගේ ඇමැතිවරයා සිය පදනමට බද්දට ලබාගත් ඉඩමේ ගොඩනැගිල්ල ඉදිකර යළිත් කුලියට දීමේදී ඒ සඳහා ගිවිසුම් ගතවීම සඳහා ඇටර්නි බලකරුවෙක් යොදා ගෙන ඇත. නීතියෙන් ගැලවීම සඳහා මෙසේ ඇටර්නි බලකරුවකු යොදා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

කුලියට දී වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක් ලබා ගනු ලැබුවත් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වාර්ෂික බදු මුදල නොගෙවීම නිසා බදු මුදල් ගෙවන ලෙස නියෝජ්‍ය දුම්රිය අධිකාරිවරයා පසුගිය මාර්තු මාසයේදී අලුත්ගමගේ හිටපු ඇමැතිවරයා වෙත සිහි කැඳවීමක් ද කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියේ පිහිටි එච්. ලියනගම දුම්රිය මිනුම්දෝරු තැන විසින් 2005 නොවැම්බර් මස 11 වැනි දින සහතික කළ පිඹුරට අනුව පර්චස් 11.5ක ප්‍රමාණයෙන් යුතු ‍එම ඉඩම 2005 ජනවාරි මස 01 දින සිට වාර්ෂිකව රුපියල් 69000ක මුදලට ලබා ගෙන ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නමිනි. ඉඩමේ බදු ඔප්පුවට අනුව බදු දීමනාකාර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ඔප්පුවට අත්සන් කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.

එහෙත් එහි ඉදිකළ ගොඩනැගිල්ල බදු දීමේදී අලුත්ගමගේ මහතා පදනමක් සම්බන්ධ කර ගෙන ඔහු වෙනුවෙන් නාවලපිටියේ සොයිසා කැලේ අංක 70/05 හි පදිංචි මොහොමඩ් සෙයිත් මොහොමඩ් උවයිස් නමැති අයකුට ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය දී තිබේ.

එම බලපත්‍රයට අනුව උවයිස් නමැති අයට අලුත්ගමගේ මහතා බලය පවරා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එම ඉඩමට අදාළව කටයුතු කිරීම පමණි. නයිටා ආයතනයට අදාළ නාවලපිටියේ පූජ්‍ය ගංගානාත් ප්‍රේමවංශ ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය සුදුසු සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක නැවත ස්ථාපනය කිරීමට මූලික වී ඇත්තේ ද අලුත්ගමගේ මහතාය.

සිය පදනමේ පළමු හා දෙවන මහල කුලී පදනම මත නයිටා ආයතනයට ලබාදීමට නයිටා ආයතනයේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.

වර්ග අඩි 3724ක් විශාල මෙම භූමි ප්‍රමාණය දීමට නයිටා ආයතනයට කැමැත්ත පළකර ඇත්තේ අලුත්ගමගේ මහතාගේ ඇටර්නි බලකරු වන උවයිස් මහතාය.

එම ගනුදෙනුව පිළිබඳව කරුණු විමසා බැලීමේදී මෙය මූල්‍ය වංචාවක් බවත් රජය සමඟ ගිවිසුම් ගත අයකුට මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ නොහැකි බව විමර්ශකයින්ගේ අදහස වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *