• Sat. Jan 28th, 2023

අපට විරුද්ධවාදීන් නෑ, ඉන්නේ වෙනස් අදහස් දරණ අය පමණයි – රනිල්

ranil final meeting

“යහපාලන ආණ්ඩුවේ අපට අපගේ දර්ශනය අනුව විරුද්ධවාදීන් නෑ. ඉන්නේ අපට වඩා වෙනස් මත දරණ පිරිස් පමණයි. ඔවුන් අපේ අසල්වාසීන් ඥාතීන් හිතමිතුරන්. ඔවුන්ට අපේ දර්ශනය කියන්න. අපේ දර්ශනය සම්මුතිවාදයයි. අපි අලුතින් හදන රටේ ඔවුන්ටත් අනාගතයක් ඇති බව, ඔවුන්ගේ අදහසටත් තැනක් ඇති බව කියන්න.“ යැයි මරදානේ එක්සත් ජාතික පෙරමුනේ ඊයේ (14) පැවැති විජයග්‍රාහී අවසන් රැලිය අමතා එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැවැන්ත ජන ගංගාවක් ගලා විත් සිටි මරදානේ රැලිය ඇමැතූ රනිල් වික්‍රමසිංහ මහතා තම කතාව කෙළේ වෙඩි නොවදින වීදුරු ආවරනයක් තුල සිටය මෙය මේ මැතිවරණ ව්‍යාපාරයේදී අගමැතිවරයා ඇමැතූ 143 වැනි මැතිවරණ ප්‍රචාරක රැලිය විය. එහිදී අගමැතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

“සම්ප්‍රදායක් ලෙස අපි අවසන් රැස්වීම තියන්නේ මැද කොළඹ ඒ නිසා අද මා මෙතැන සිට මුළු රටටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි 8 වෙනිදා ඔබ සියලු දෙනාම මේ රටේ අනාගතය තීරණය කළා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට පත් කරලා අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරලා දවස් සීයේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරලා යහපාලනයක් ඇති කළා.

දැන් අගෝස්තු 17 වෙනිදා රටේ අනාගතය තීරණය කරන ඔබට දැන් තියෙන්නේ ඔබෙත් ඔබේ පවුලෙත් අනාගතය තීන්දු කරන්නයි. යුද්දෙ ඉවර කරලා, සිංහල මුස්ලිම් ද්‍රවිඩ ජනතාව එකතු කරගෙන ජාතික සමගියක් ඇතිකරලා, අවුරුදු ගණනාවක් පටි තද කරගෙන සිටි ජනතාවට සහන ලබා දෙයි කියලා, ඔබේ අනාගතය ඇති කරයි කියලා, ජනතාව සිතාගෙන සිටියා. ඒත් මහින්ද රාජපක්ෂ ඒක කළේ නෑ. එතුමා අන්තිමට කළේ තමන්ගේ පවුල බලාගත්ත එකත් තමන්ගේ හෙංචයියන්ගේ පවුල් බලාගත්ත එකත් විතරයි.

අපේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නීතියේ ආධිපත්‍යය නැතිකළා. ඔබේ ජීවන බර වැඩි කළා. ඒක නිසා තමයි අපි ඔක්කොම එකතු වෙලා මහින්ද රාජපක්ෂව මැදමූලනට විශ්‍රාම යවන්න එයාට විරුද්ධව ඡන්දෙ දුන්නේ. ඒ පනිවුඩය හරියට තේරිලා නැතිනම් ඔබ සියලු දෙනාම එකතු වෙලා යලිත් ඒක අගොස්තු 17 වෙනිදා එතුමට කියන්න කියලා මං ඉල්ලා සිටිනවා.

මොකද මෙතැන තියෙන්නේ ඔබේ අනාගතය. යුද්ද කාලේ දුක් වින්දා, ජීවිත පරිත්‍යාග කළා, පටි තද කරගත්තා ඒ නිසා ඔබට අයිතියක් තියෙනවා, තරුණයන්ට අයිතියක් තියෙනවා අහන්න. ‘මොකක්ද අපේ අනාගතය? මේක අපේ රට. අපිට අනාගතයක් තියෙනවද? නැතිද?‘ දෙමව්පියන් අහන්න ඕනේ අපිට අනාගතයක් තියෙනවාද? අපේ දරුවන්ට අනාගතයක් තියෙනවාද? අපේ ආදායම් වැඩි වෙනවාද? අපිට නිවාස හොයා ගන්න පුළුවන්ද? කුඩු නැති සමාජයක් හදනවද ? කියලා. වැඩිහිටියන් අහන්න ඕනේ අපේ මුණුපුරාට මොකක්ද වෙන්නේ? අපි වයසට යනවිට අපිට ලැබෙන සේවාව කුමක්ද? කොහොමද රජය අපිට උපකාර වෙන්නේ? කියලා. ඒව ඕනෙම රටක පුරවැසියෙකුට, ඡන්ද දායකයෙකුට අහන්න අයිතියක් තියෙන ප්‍රශ්න. ඒ අයිතිය තමයි ඔබ දැන් යොදවන්න ඕනේ. මොකද දැන් ඔබට වෙලාව ඇවිත් තියෙන්නේ ඒ ගැන ප්‍රශ්න නගන්න. අපි මෙතැනට ඇවිල්ල තියෙන්නෙ ඒ ඔබේ අනාගතය ඔබට හදලා දෙන්න.

අද අපි ඔක්කොම එකතු වෙලා. යූ ඇන් පී අපි විතරක් නොවෙයි. ජාතික හෙළ උරුමය, යහපාලනය අගය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ කන්ඩායම්, අපේ මුස්ලිම් පක්ෂ, ඒ වගේම මනෝ ගනේෂන් මැතිතුමා ඇතුළු කඳුරට තියෙන ද්‍රවිඩ පක්ෂ, ඒ සමගම සිවිල් සංවිධාන 161 ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබේ අනාගතය, රටේ අනාගතය ගැන හිතලා.

අපි බලාගනෙ ඉඳිද්දි චීනේ, ඩුබායි වැනි රටවල ජනතාවට අපිට වඩා ඉදිරියට ගිහින් හොඳ අනාගතයක් ලැබුනා. අපිට ඒක නැතිවුනා. එහෙම නම් ඊ ලඟ අවුරුදු පහේදි එ්ක හදලා අපි සීග්‍රයෙන් ඉදිරියට යන්න ඕනේ. ඒක කරන්න අපිට මේ රට බෙදන්න බෑ. අපි බෙදන්නෙත් නෑ. ජාතිවාදයවත් ආගම්වාදයවත් නෑ. ශ්‍රී ලාංකිකයන් හැටියට නිදහසේ ජීවත් වෙන්න, නිදහසේ ආගම අදහන්න අයිතිය ලබලා දෙනවා.

ඒ වගේම 17 වෙනිදා මේ ඡන්දෙන් පස්සේ අපි බෙදෙන්න හොඳත් නෑ. අපි කාටවත් හිරිහැර කරන්න හොඳ නෑ. අපි කාටවත් හානි කරන්න හොඳ නෑ. එහෙම කළොත් අපිට ඊට පස්සේ එකතු වෙන්න අමාරු වෙනවා. එකතු වෙන්න බැරි වෙනවා. ඒ නිසා අගොස්තු 17 වෙනිදා සිට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. කවුරු හරි නීතිය කැඩුවොත්, ගෙවල් දේපොලකට හානියක් කළොත් කොයි පක්ෂයකට අයිතිවුනත් ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා. ජනාධිපතිතුමා විධායකය හැටියට පොලිසිය මාර්ගයෙන් ක්‍රියා කරනවා. අපි ඒකට සම්පූර්ණ සහායෝගය දීලා තියෙනවා.

අපේ වැඩ සටහන අපි ඉදිරිපත් කරලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් මාස 60 න් අලුත් රටක් හදන්න, රැකියා ලක්ෂ 10 ක් අවුරුදු පහෙන් බිහි කරන්න, විදේශ ආයෝජන ලබා ගන්න, නිවාස ලක්ෂ 5 ක් ඉදිකරන්න, අධ්‍යාපනය දියුණු කරන්න, තියෙනවා. මට කලින් කතා කරපු ඇමැතිවරු තුන් දෙනත් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේත් හොඳට විස්තර කරපු නිසා මං ඒ ගැන දීර්ඝ වශයෙන් කියන්න යන්නේ නෑ. අපි ඔබට ඒ වැඩ සටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට තියෙන එකම විකල්පය මේ වැඩ සටහන විතරයි.

ඒ නිසා අගෝස්තු 17 දා මට ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂය දිනවන්න. අලියා ලකුණ ඉදිරියෙන් කතිරයක් ගහලා හැම දිස්ත්‍රික්කයකින්ම අපි දිනවලා දෙන්න කියලා මං ඔබගෙන් ඉල්ලා සිටිනවා. මෙතැන කොළඹ අපේ අපේක්ෂකයෝ 22 ක් ඉන්නවා. සියල්ලෝම හොඳ අය. හොරුන්ව කාණු කටාලව පාර්ලිමේන්තුවට එවන්නේ මොනවටද? ඉස්සරහට ටීවී එකේ පාර්ලිමේන්තු රැස්වීම් පෙන්වනවා. ඒ නිසා අපි කොළඹ දිස්ත්‍රික්කයේ නම්බුව ආරක්ෂා කරගන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ 15 ක් 16 ක් හොඳ අය පාර්ලිමේන්තුවට එවන්න. හුඟත් වැඩ තියෙනවා කරන්න. මේ ප්‍රදේශයේ හුඟක් වැඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් වැඩි පිරිසක් එක්සත් ජාතික පෙරමුණේ අය පාර්ලිමේන්තුවට එවන්න.

ප්‍රතිඵල ආව ගමන් අපිට හුඟක් වැඩ තියෙනවා. මාස 60 න් අලුත් රටක් හදනවනම් පළවෙනි අවුරුද්ද තමයි අපිට වැඩියෙන්ම වැඩ කරන්න තියෙන්නේ. මං ජනාධිපති තුමා එක්ක කතා කළා. අපි එන සුමානේ අවසන් වෙන්න ඉස්සෙල්ලා පක්ෂ නායකයෝ කැඳවා පාර්ලිමේන්තුව තහවුරු කරලා කාරක සභා හදනවා. ඒවාට මෙන්න වැඩ සටහන මේකට සහයෝගය දෙන්න කියනවා. ඉක්මනට කාරක සභා ඇති කරගෙන අපේ සැලසුම්, අපේ නීති කෙටුම්පත් ඔක්කොම මේ කාරක සභා වලට එවලා ඒගොල්ලන්ගේ වාර්තාව අපි අරගන්නවා. අපිට මේ නීති සීග්‍රයෙන් පාර්ලිමේන්තුවට ගේන්න තියෙනවා. බල බලා ඉන්න බෑ. විශේෂයෙන්ම සංවර්ධන විශේෂ විධි විධාන පනත ගේනවා. අපිට අවුරුදු දෙක තුනක් විශේෂ බලතල දෙන්න මේ ක්‍රියාදාමය ආරම්භ කරන්න. තවත් නීති ගණනාවක් තියෙනවා. ඒ වගේම 2016 ට අය වැයක් ඉදිරිපත් කරන්න තියෙනවා. දිස්ත්‍රික්ක නගා සිටුවන්න දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල ඇති කරන්න ඕනේ. එතැන අපේ මන්ත්‍රීවරයෙක් සභාපති කරන්න ඕනේ. අපිට ග්‍රාම රාජ්‍ය ප්‍රජා රාජ්‍ය ඇති කරන්න තියෙනවා. මේ වගේ විශාල වැඩ කොටසක් තියෙන්නේ කරන්න. තොරතුරු දැනගන්න අයිතිය පනත ගේන්න තියෙනවා. ඒ නිසා මට අවුරුද්දේ හැමදාම පාර්ලිමේන්තුවට යන්න වුනත් කමක් නෑ. අවුරුද්දේ හැමදාම හරි පාර්ලිමේන්තුව රැස් කරලා මේ නීති සම්මත කරගෙන වැඩ කරන්න තියෙනවා. ඒ නිසා ලබන සුමානේ අන්තිම ඉඳලා අපි යලි වැඩට බහිනවා.

අවරුදු 5 ක් නැති වුනා. ඒක අල්ල ගන්න ඕනේ. ඒ කාලේ පාර්ලිමේන්තුව කිසිවක් කෙළේ නෑ. දියුණුවක් ඇති කරන්න නම් අපි ඉදිරියට යන්න ඕනේ. ඒකයි එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා සියළු දෙනාගෙන්ම ඉල්ලන්නේ.

මං වැඩිය කතා කරන්න යන්නේ නෑ. ඒත් මෑත ඉතිහාසයේ ශීලාචාර හා සාමකාමී මැතිවරණය පැවැත්වීමට අපේ යහපාලන ආණ්ඩුවට පුළුවන් වුනා. ඊට නායකත්වය සැපයූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාටත් ඒ බලය ක්‍රියාත්මක කළ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමාටත් අපි ස්තූති වෙනවා. ඊට අනුකූලව ක්‍රියා කළ අපේ භාරකාර රජයේ ඇමැතිවරුන්ටත්, එක්සත් ජාතික පෙරමුනේ අපේක්ෂකයන්ටත්, ගෙන් ගෙට ගිහින් වැඩ කටයුතු කළ අපේ පාක්ෂිකයන්ටත් මම ස්තූති වන්ත වෙනවා.

මේ නීති ගරුක තත්ත්වය සහ සාමය මැතිවරණ දිනයෙන් පසුවත් ඉදිරියට ගෙන යෑමට ඔබ සියලු දෙනාගේම සහයෝගය මං ඉල්ලා සිටිනවා. යහපාලන ආණ්ඩුවේ අපට අපගේ දර්ශනය අනුව විරුද්ධවාදීන් නෑ. ඉන්නේ අපට වඩා වෙනස් මත දරණ පිරිස් පමණයි. ඔවුන් අපේ අසල්වාසීන් ඥාතීන් හිතමිතුරන්. ඔවුන්ට අපේ දර්ශනය කියන්න. අපේ දර්ශනය සම්මුතිවාදයයි. එකට එක්වි වැඩ කිරීමයි.

අගෝස්තු 17 වෙනිදා අප ලබන ජයග්‍රහනය විශිෂ්ඨ ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට නම් එකට එක්වීමට කැමැති ඔබේ අසල්වාසීන් ඥාතීන් තවත් එකතු කරගන්න. අපි අලුතින් හදන රටේ ඔවුන්ටත් අනාගතයක් ඇති බව, ඔවුන්ගේ අදහසටත් තැනක් ඇති බව කියන්න. කියලා අපි සියළු දෙනාම වේලාසනින් ගිහින් අගෝස්තු 17 දා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීලා ඔබේ අනාගතය තහවුරු කරගනිමු කියන එක කියමින් මේ රටේ ජනතාවට ජයවේවා.. එක්සත් ජාතික පක්ෂයට ජයවේවා.. සියලු දෙනාටම ස්තූතියි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *