• Mon. Jan 30th, 2023

රනිල් සිව්වැනි වතාවටත් අගමැති

BySandun

Aug 18, 2015

ranil

රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් මෙන්ම නීතිවේදියෙක් වන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අතීතය 1970 වසර දක්වාම දිවයයි.මුලින්ම බියගම ආසන සංවිධායකවයා ලෙස කටයුතු කරන හෙතෙම ප්‍රථම වරට පාර්ලිමෙන්තුවට තේරීපත්වන්නේ 1977 මහමැතිවරණය ජයගෙනය.
ජේ.ආර් ජයවර්ධන රජයේ තරුණ කටයුතු හා රැකියා පිළිඹද අමාත්‍යධූරයෙන් පිදුම් ලබන හෙතෙම ශ්‍රීලංකා කැබිනට් මණ්ඩලයට එතෙක් පත්වූ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙස ඉතිහාසයටද එක්වේ.ජාතික තරුණ සේවා සභාව ඇතිකෙරෙන්නේ ඔහුගේ සංකල්පයකට අනුවය.පසු අවස්ථාවක ජයවර්ධන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීමටද ඔහුට අවස්ථාව හිමිවේ.
බියගම විශේෂ ආර්ථික කලාපය ඇතිකෙරෙන්නේ රණසිංහ ප්‍රේමදාස ජනපති සමයේ කර්මාන්ත පිළිඹද අමාත්‍යවරයා ලෙස පත්වන ඔහුගේ සංකල්පයට අනුවය.ප්‍රේමදාස ජනපතිගේ හදිසි වියෝවෙන් පසු වැඩබලන ජනපති ලෙස පත්වන ඩී.බී.විජේතුංග යටතේ ඔහු මෙරට අගමැතිවරයා ලෙස පත්වන්නේය.

පක්ෂයේ නොයෙකුත් හැලහැප්පීම් වලට මුහුණදී,අවසන පක්ෂයේ නායකත්වය හිමිකර ගන්නට ඔහු සමත්වන්නේය.නමුත් එවක ප්‍රබල පොදු ජන එක්සත් පෙරමුණ හා ගැටීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්වීම නිසා මැතිවරණ වාර දෙකකදීම පෙරමුණට පැරදීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේද ඔහුගේ නායකත්වය යටතේය.නමුත් 2001 පාර්ලිමෙන්තු මැතිවරණයේ ජයග්‍රහණය දක්වා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සමත්වන ඔහු එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ රජයක් පිහිටුවීමට සමත්වන්නේය.නව රජයේ අගමැති ලෙස පත්වන්නේ ඔහුය.ඒ දෙවැනි වතාවටය.

කොටසකගේ ඇගයීමට ලක්වන,තවත් කොටසගේ දැඩි විවේචනයට ලක්වන සටන්විරාම ගිවිසුම ඇතිවෙන්න් මෙම සමයේදීය.එය මුල්කරගෙන චන්ද්‍රිකා තම විධායක බලය භාවිතා කර රනිල් ප්‍රමුඛ රජය විසිරුවාහැරීමට පියවර ගන්නා අතර අනතුරුව පැවැත්වෙන පාර්ලිමෙන්තු මැතිවරණයේදී ඔහු හා තරග බිමට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂය.අනපේක්ෂිත ලෙස ජයග්‍රහණයක් හිමිකරගන්නා මහින්ද රාජපක්ෂ රටේ අගමැති වීමටත්,පසුව රටේ ජනාධිපතිවීමටත් වරම් හිමිකරගනී.රනිල්ට සිදුවන්නේ ඔහු අතීතයේ සිටියාක් මෙන් බොහෝ කාලයක් විපක්ෂ නායක ලෙස කල්මැරීමටය.2010 වසරේ ජනාධිපතිවරණයේදී නව රජයක් පිහිටුවීමට ගත් උත්සාහය අසාර්ථකවුවත්, 2015 ජනාධිපතිවරණයේදී තම සැළැස්ම තිතට ක්‍රියාත්මක කිරීමට සමත්වන ඔහු නව රජයක් පෙරටු කරගෙන තුන්වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස පත්වන්නේය.

දේශපාලනයේ ‘මිස්ටර් ක්ලීන්‘ ලෙස හැඳින්වෙන ඔහු ඉතාම නිවුනු ගතිගුණ ඇති,පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සියලුදෙනා සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයෙකි.විපක්ෂ දේශපාලඥයින් පවා ඔහුගේ බුද්ධිමත් කම අගය කරමින් අදහස් දක්වා ඇත්තේ වරක් දෙවරක් නොවේ.
ඔහුට දැන් සිව්වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස පත්වීමට අවස්ථාව හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *