ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අද (20) හිමිවුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණා. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ ඉදිරි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සහ එකඟතාවන්ට පැමිණීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද එහිදී එකඟතාව පළ වී තිබෙනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ එස්.බී. දිසානායක එම කමිටුවේ සාමාජිකයින්.
අවම වශයෙන් වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටයි අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අදහස වී ඇත්තේ.
මේ අතර මෙම මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.