• Sat. Jan 28th, 2023

ජාතික ආණ්ඩුවට මහින්ද එරෙහි වෙද්දී,මහින්ද විපක්ෂ නායක කරන්න සන්ධානයේ පිරිසක් එකඟතාවක

BySandun

Aug 21, 2015

mahinda

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජිත ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු 11 දෙනෙක් විරුද්ධත්වය පළකර සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

ඔවුහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ සාමාජිකයෝ වන දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණට අයත් මන්ත්‍රීවරු පස් දෙනෙකු, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක හා මහලේකම් උදය ගම්මන්පිල යන මහත්වරුන් දසදෙනා මෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම පිරිසට අයත් වන බව වාර්තා වේ.

මෙම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනම සන්ධානයක් ලෙස ක්‍රියාකිරීමට නියමිත අතර, එහි නායකත්වය බොහෝ දුරට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ඇති බවද සඳහන් වේ.

එමෙන්ම නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමටත් ජාතික ආණ්ඩුවට එකතු නොවී ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් කටයුතු කිරීමටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් එකඟතාවකට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ දී ඊයේ (20) උදෑසන පැවැති සාකච්ඡාවක දී මේ තීරණයට එළැඹ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟත්වය ඇතිව ඔහු විපක්ෂ නායක ධූරයට පත් කර ගැනීමට එම කණ්ඩායම තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

එවැනි රැස්වීමක් තමාගේ කොළඹ නිවසේ පැවැති බව මේ සම්බන්ධයෙන් දිනමිණ කළ කරුණු විමසීමක දී බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා තහවුරු කළේය.

එසේම තමන් කිසිසේත් ජාතික ආණ්ඩුවකට එකඟ නොවන බවත් එවැනි එකඟතාවක් ඇති වීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධය පළ කරන බවත් රණතුංග මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *