සම්මුති ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට සඳුදා නොව බොහෝ විට අනිද්දා අඟහරුවාදා (25) දිව්රුම් දෙනු ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.එමෙන්ම නව පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වන අතර සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර දින සීයේ ආණ්ඩුවේ පරිදිම සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලක මහතා ද වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
නව කැබිනට් මණ්ඩලය සදහා මේවන විට එජාපෙන් 33 ක් හා ශ්‍රීලනිපයෙන් 21 ක් වන සේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම තේරීපත් වී ඇති මන්ත්‍රීවරු 54 ක් දෙනෙක් ප්‍රධාන ඇමතිකම් ගැනීම සඳහා මේ වනවිට ඉල්ලිම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලය 45 ක මට්ටමින් පවත්වා ගැනීමට බොහෝ සේ උත්සාහ කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
කෙසේ හෝ ඇමති මණ්ඩලය 50ක් වුවහොත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව කැබිනට්ටුවේ සිටිය යුතු ගණන 30ක් වන අතර, මුලින් ඇමතිවරුන් 28ක් දිවුරුම් දී පාර්ලිමේන්තුවේ සම්මත වන යෝජනාවක් හරහා ඉතිරි ඇමතිවරුන් දිවුරුම් දිමට කටයුතු කිරීමටයි සිදු වන්නේ.
එමෙන්ම එජාපය වෙනුවෙන් පසුගිය රජයේ ඇමැතිධූර දැරූ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අමතරව මලික් සමරවික්‍රම, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ හරින් ප්‍රනාන්දු, දයා ගමගේ මහත්වරුන්ටද,ශ්‍රිලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවිර,මහින්ද සමරසිංහ සහ චමල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක්ට ප්‍රබල ඇමැති ධූර හිමි වනු ඇතැයි නිල නොවන ආරංචි පවසයි.
මේ අතර වමේ පක්ෂ නියෝජනය කරමින් එජාපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාටද ඇමැති ධූරයක් ලැබෙනු ඇතැයිද දැනගන්නට තිබෙන්නේ.