• Fri. Feb 3rd, 2023

පියතුමා අතුරුදහන්වී වසර 9යි – තවමත් පරීක්ෂණ නෑ.

Jim Brown

යාපනයේ සේවය කළ කතෝලික පියතුමකු අතුරුදහන්වී වසර නවයක් ගතවී ඇතත් ඒ සම්බන්ධව මේ දක්වා කිසිදු පරික්ෂණයක් හෝ සොයා බැලිමක් සිදුවී නොමැති බව මානව හිමිකම් ක්‍රියාධරයන් සහ කතෝලික පුජකවරු කියා සිටිනවා.
යාපනය අල්ලෙයිපිඩි පිලිප් නේරි දේවස්ථානයේ පාලක වශයෙන් කටයුතු කරමින් සිටි තිරුචෙල්වම් නිහාල් ජිම් බ්‍රවුන් පියතුමන් සහ වින්සස් විමලදාස් අවසන් වරට දැක ගන්නට ලැබී ඇත්තේ 2006 අගෝස්තු 20 දා නාවික හමුදා මුරපොලක් අසලදීය.

ඇතැමුන් පවසන්නේ යතුරු පැදියක සිටි ජිම් බ්‍රවුන් පියතුමන් සහ වින්සස් විමලදාස් එදින අල්ලෙයිපිඩි නාවික හමුදා මුරපොල අසල සිටිනු දුටු බවයි.

නාවික හමුදා තර්ජන.

ඉන් කිහිප දිනකට ඉහතදී නාවික හමුදා නිලධාරියකු විසින් ඔහුට තර්ජනය කොට තිබේ. නාවික හමුදා ව සහ ඔහු අතර විරසකයක් හට ගෙන ඇත්තේ යුද්ධය උත්සන්න වන විට සාමාන්‍ය වැසියන්ට පලාතෙන් පිටව යාමට පියතුමා අවසර ඉල්ලීම නිසාය.

ජිම් බ්‍රවුන් පියතුමා අතුරුදහන් වීමට සතියකට කලින් ගැසූ ෂෙල් ප්‍රහාරයකින් පිලිප් නේරි දේවස්ථානයේ රැකවල් ලබා සිටි සාමාන්‍ය දෙමළ වැසියන් පහළොස් දෙනකු පමණ මියගොස් පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

උදලාගම කොමිසම.

පුද්ගල අතුරුදහන් කිරිම් සහ ඝාතන සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට 2006 දී පත් කරන ලද නිශ්ශංක උදලාගම කොමිසම හමුවේ විස්තර කෙරුණු ප්‍රකට අතුරුදහන් වීම් 16ක් අතර ජිම් බ්‍රවුන් පියතුමාගේ විස්තරය ද ඇතුළත් වී තිබුණි.

එම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට අලුත් ආණ්ඩුවේ අභිප්‍රායක් වේ නම්, උදලාගම කොමිසම් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම මගින් ඒ බව තහවුරු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධාරීහු ඉල්ලා සිටිති.

කෙසේ වෙතත්, මේ වසරේ ජනවාරි මස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරන යාපනය යුක්තිය සහ සාමය පිළිබඳ කොමිසම අවධාරණය කරමින් කියා සිටිනුයේ නිහාල් ජිම් බ්‍රවුන් පියතුමන්ගේ සහ 2009 මැයි 18වන දින හමුදාවට භාරවු විමුක්ති කොටි සමාජිකයන් පිරිසක් සමග බස් රථයකට නංවා ගත් ප්‍රැන්සිස් ජෝසප් පියතුමන් පිළිබඳ පරික්ෂණ කටයුතුවල කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *