• Sat. Jan 28th, 2023

ranil wickremesighe
පසුගිය පාලන සමයේ සෑම අතින්ම පිරිහීමට ලක්ව තිබූ රට නිවැරදි මාවතට යෙමු කරන්නට යහ පාලන රජය යටතේ ජනපති මෛත්‍රී, අගමැති රනිල් සුසංයෝගයට හැකිවූ බවත් එය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අගමැති ධුරයට යළිත් රනිල් වික්‍රමසිංහ මහතා පත්වූයේ රටේත් ජනතාවගේත් වාසනාවට බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.

සිව්වන වරටත් අගමැති ධුරය දරන්නට ලැබීම වික්‍රමසිංහ මහතාගේ මෙන්ම එය රටේත් වාසනාවක් බවද උන්වහන්සේ කීය. ජනපතිවරණය හා මහ මැතිවරණය ජයගෙන විප්ලව දෙකක් සාර්ථකව නිමාකළ අගමැතිතුමන්ට රට දියුණු කිරීමේ තෙවන විල්පලවය ජයගන්නටද ශක්තිය ඇතැයි මහා නාහිමියෝ පැවසූහ. මල්වතු මහ විහාරීය මංගල උපෝෂිතාගාරයේ දී අනුශාසනාවක් කරමින් මහ නාහිමියෝ මේ බව පැවසූහ.

ranil wickremesighe2
අගමැති ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරු පිරිසක් ඊයේ (23) මල්වතු මහ විහාරයට ගිය අවස්ථාවේ මහ නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරු පිරිත් සජ්ඣායනා කොට ඔවුනට ආශිර්වාද කළහ.

අනතුරුව අනුශාසනාවක් කළ මල්වතු මහ නාහිමියෝ විරුද්ධ පක්ෂ නායක ලෙස කාලයක් කටයුතු කැරමින් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පාලන සමයේ සිදු වූ වැරදි හා ජනතා අපේක්ෂා මොනවාද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව අගමැතිධුරයට පත්ව තිබෙන්නේ යැයි ප්‍රකාශ කළහ.

පසුගිය ජනපතිවරණයේ දී එජාප නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් එම පක්ෂය හා සෙසු පක්ෂත් සිවිල් සංවිධානත් එකතු වී බලයේ සිටි නායකයා පරාජය කැර පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට කටයුත කළ බවත් එම පෙරළියෙන් පසු සුළුතර ආණ්ඩුවක අගමැති ලෙස රටට සහන රැසක් ලබාදීමට වික්‍රමසිංහ මහතා ක්‍රියාකළ බවත් මහ නාහිමියෝ පැවසූහ.

ජනපති වටා ගොනුවී තිබූ අසීමිත බලතල කප්පාදු කැර එය අගමැති හා පාර්ලිමේන්තුව වෙත ලබාදීම ඇතුළු රටේ අවශ්‍යතා රැසක් හඳුනාගෙන රටට දැනෙන වැඩක් එම ආණ්ඩුව සිදුකළ බවත් තවදුරටත් රටට සේවයක් කිරීමට එම ආණ්ඩුවට තිබූ අවකාශය විරුද්ධ පක්ෂය අහුරා දැමූ බවත් කී මහා නාහිමියෝ ජනතාව මෙවර එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට පැහැදිලි ජනවරමක් ලබාදී ඇති බව ද ප්‍රකාශ කළහ.

ආර්ථික හා සමාජීය වශයෙන් පිරිහී ඇති රට ඉන් මුදාගෙන සංවර්ධනය කැර සාරධර්ම පිරි සමාජයක් ගොඩනගන්නට ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු අනෙකුත් පක්ෂ ද සම්බන්ධ කරගෙන අලුත් දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දීමට අගමැතිවරයා ගන්නා උත්සාහය අගය කරන බවද මහනාහිමියෝ පැවසූහ.

පක්ෂ එක් එක් ප්‍රතිපත්තිවල එල්බගෙන නොසිට ඒවා පසෙකින් තබා මෙම අවස්ථාවේ කළ යුත්තේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ හා එක්වීම බවද උන්වහන්සේ අවධාරණය කළහ.

දුප්පත් අහිංසක ග්‍රාමීය ජනතාව පසුගිය ආණ්ඩුව සමයේ දැඩි පීඩාවට පත්වූ බවත් ඔවුන්ගේ කෘෂි නිෂ්පාදනවලට හොඳ මිලක්, ඒවා නගරයට ගෙන ඒමට හොඳ මාර්ග පද්ධතියක් ඇතිකළ යුතුව තිබෙන බවද මහා නාහිමියෝ කීහ.

ranil wickremesighe3පසුගිය මහමැතිවරණය අවස්ථාවේ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රැකියා දශලක්ෂයක් බිහි කරන බවටත් ආර්ථික සංවර්ධන කළාප ඇතිකරන බවටත් දුන් පොරොන්දු ඉටුකිරීමට අගමැතිවරයාට ශක්තිය හා ධෛර්ය ඇති බවත් ජනපතිවරණය හා මහමැතිවරණය ජයගෙන විප්ලව දෙකක් සාර්ථකව නිම කළ බැවින් රට දියුණු කිරීමේ තෙවන විප්ලවය ද සාර්ථකව අවසන් කළ හැකි බවද ස්ථිර යැයිද උන්වහන්සේ පැවසූහ.

ජනපති මෛත්‍රී හා අගමැති රනිල් යහපත් අදහස් ඇති ගුණයහපත් දෙපොළක් බවත් මෙම දෙපොළගේ සහයෝගයෙන් රටට අවශ්‍ය සහජීවනය ගෙන ආ හැකි බවත් මහ නාහිමියෝ කීහ.

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ නීති විද්‍යාලයට ඇතුළත්ව උපාධිය ලැබ දේශපාලන ක්ෂේත්‍රයේ මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු, විපක්ෂ නායකවරයකු හා අගමැතිවරයකු ලෙස ක්‍රියාකර අත්දැකීම් රැසක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා කෘතහස්ත දේශපාලනඥයකු බවද මෙහිදී උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී.ල.නි.පය ආරාධනා කැර ඔවුන්ගේ ඉල්ලීම් සියල්ලට එකඟතාව පළකළ බව පැවසුවේය.

කොන්දේසි ඉදිරිපත් කර වාද කරන්නට නොගොස් ඔවුන්ගේ ඉල්ලීම්වලට කැමැත්ත පළකළ බවද ඒ මහතා කීය.

මෙම අවස්ථාවට එජාප සභාපති මලික් සමරවික්‍රම, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, එම්.එච්.එම්. හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලකී ජයවර්ධන, වසන්ත අළුවිහාරේ, රංජිත් අළුවිහාරේ, ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුද සහභාගි වූහ.

ලොවම පිළිගත් දේශපාලනඥයකු අගමැතිවීම සතුටට කරුණක්
-අස්ගිරි නාහිමියෝ
ජාත්‍යන්තරය පිළිගත් කෘතහස්ත දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මහතා සිව්වන වරටත් මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සතුටට කරුණක් බව අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පැවසූහ.

ජාති, ආගම් බේදයෙන් තොරව රට ඉදිරියට ගෙන යෑමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තිය හා ධෛර්ය ඇති බවත් ඒ සඳහා මහ සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව හිමිවන බවත් උන්වහන්සේ කීහ.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ ආශීර්වාද ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) මහනුවරට පැමිණියේය.

අස්ගිරි මහ විහාරයට ගිය අගමැතිවරයා පිළිගෙන මංගල උපෝෂිතාගාරයේදී අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහ සංඝ සභාවේ හිමිවරු පිරිත් සජ්ඣායනය කොට අගමැති ප්‍රමුඛ රජයට ආශිර්වාද කළහ.

රට සෞභාග්‍යය කරා මෙහෙයවමින් ආර්ථික අතින් ශක්තිමත් කැර කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීමට අගමැතිවරයාට ශක්තිය ලැබේවායි මහනාහිමියෝ මෙහිදී ආශිර්වාද කළහ. සිව්වන වරටත් අගමැති ධුරයට වික්‍රමසිංහ මහතාව මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පත්කර ගනු ලැබුවේ දැඩි විශ්වාසයෙන් බවත් එම විශ්වාසය සුරකිමින් රට දියුණුව කරා මෙහෙයවන ලෙසත් මෙහිදී මහනාහිමියෝ අගමැතිවරයාට පැවසූහ.

එදා මහමාන්‍යය ඩී. එස්. සේනානායක, එ‍ෆ්. ආර්. සේනානායක, පොන්නම්බලම් රාමනාදන්, ටී. බී. ජයා වැනි නායකයින් එදා ජාතික සමඟිය තුළින් රටට නිදහස අත්කර දුන් බවත් අදත් ජාතික සහ ආගමික සමඟිය තුළින් එම නිදහස සුරක්ෂිත කරගත යුතු බවත් මහනාහිමියෝ කීහ.

මෙම අවස්ථාවට එජාප සභාපති මලික් සමරවික්‍රම, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අළුවිහාරේ, ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *