කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටියි.
පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ පවතින දැඩි වාහන හා මගී තදබදයට විසඳුමක් ලෙස සහ කොළඹ අගනගරයට දර්ශනීය පෙනුමක් මෙමඟින් ලැබේ යැයි විශ්වාස කරන බවයි සඳහන් වන්නේ.
විශාල මුදලක් වැය කොට ඉදිකරන මේ ගුවන් පාලම, ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට යාව ඉදිකැරේ. ඉන් කොළඹ නගරයට කැලණිය හා පෑලියගොඩ හරහා පිවිසීමේදී දැනට පවතින අධික තදබදය දුරුකිරීමට හැකිවෙතැයි මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික හා ශක්‍යතා අධ්‍යයනයන් දැනටමත් සිදුකොට අවසන් කොට ඇත. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක සැලසුම මේ වන විට සකස් කරමින් පවතී. මෙහි ඉදිකිරීම් වසර 2017 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට හැකිවෙතැයි දිසානායක මහතා බලාපොරොත්තු පළකෙළේය.
මේ ව්‍යාපෘතිය සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය වෙතින් මූල්‍ය පහසුකම් ලබා දී තිබේ. එම මුදල් යොදාගෙන මේ පාලමේ ඉදිකිරීම්වල මූලික කටයුතු සිදුකොට තිබේ.