• Mon. Feb 6th, 2023

දේශපාලන ෂයිලොක්‌ලාගේ ඇමැති පොරය.

sri lanka ministers of parliment

2015 අගෝස්‌තු 17 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට නැතහොත් සන්ධානයකට බහුතර බලයක්‌ නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැත. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා සන්ධානයේ මැතිවරණ සටනේ නායකයා බවට පත්ව සිටි මහින්ද රාජපක්‍ෂ යන දෙදෙනාගෙන් මේ රටේ අගමැති විය යුත්තේ රනිල් බව බහුතරය විසින් තීරණය කරනු ලැබ ඇත. එමෙන්ම මෛත්‍රී- මහින්ද සුසංයෝගයට වඩා මෛත්‍රී – රනිල් සුසංයෝගය පිළිබඳව ඡන්දය ප්‍රකාශ කළ බහුතරය විශ්වාසය පළ කළ බව ද පෙනේ.

මේ රටේ දේශපාලනය තුළ මහින්ද රාජපක්‍ෂ සාධකය කෙතරම් ප්‍රබල ද යන්නත් අප අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාවේ බිහිසුණුම ත්‍රස්‌තවාදය නිමවා ජනතාවගේ ආදරයට පාත්‍ර වූ මහින්ද රාජපක්‍ෂ මේ රටේ දෙවරක්‌ ජනාධිපති ධුරය හොබවමින් ස්‌වකීය දේශපාලන බල මහිමය තහවුරු කළ නායකයෙක්‌ද විය. එහෙත් ඔහුට සිය පක්‍ෂයේම මහ ලේකම් ධුරය හෙබ වූ මෛත්‍රීපාල සිරිසේන නම් වූ ඔහුගේම ඇමැතිවරයකුට පරාජය වෙමින් සිය දේශපාලන ගමනේ එක්‌ පියවරක්‌ පසුපසට ගැනීමට සිදු විය.

මුළු රටම දන්නා පරිදි මෛත්‍රීපාල සිරිසේන යනු රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අගමැති ධුරයට තිබුණු සාධාරණ හිමිකම ද අහිමි වූ දේශපාලන චරිතයකි. එහෙත් ඔහු මහින්ද රාජපක්‍ෂ පරදවා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් විය. ශ්‍රී ලනිපයේ නිර්මාතෘ වූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබද්දී ඔහු සමඟ උගත් ඇන්තනී ඊඩ්ත් (පසුව බ්‍රිතාන්‍යයේ අගමැති විය) දිනක්‌ අනාවැකියක්‌ කීවේලු. ඔහු බණ්‌ඩාරනායක මහතා පෙන්වා කියා ඇත්තේ මේ යන්නේ අනාගත ශ්‍රී ලංකාවේ අගමැතිවරයා කියායි.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලනිපයෙන් නික්‌ම පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට යද්දී ශ්‍රී ලනිපයේ කිසිවෙක්‌ අර යන්නේ මේ රටේ අනාගත ජනාධිපතිවරයායි නොකීහ. එහෙත් මහජනතාවගේ හදවත තුළ ඒ අපේ අනාගත ජනාධිපතිවරයා ය යන සනිටුහන තිබුණු බව නම් නිසැකය. රාජපක්‍ෂ පාලනය පිළිබඳ ජනතාව තුළ තිබුණු අප්‍රසාදය එමගින් තහවුරු විය.

මේ දෙවැනි වටයේදීත් මහින්ද රාජපක්‍ෂ අගමැති වීම වැළැක්‌වීම සඳහා එදා මෛත්‍රීපාල සමග සිටි සිවිල් සංවිධාන මෙන්ම ඡන්දය දුන් බහුතරය ද ක්‍රියා කර තිබේ. එහෙත් මහින්ද පසු බසින්නේ කරට කර සටනකින් පසුවය. එසේම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට මෛත්‍රී ජනාධිපතිවරයාගෙන් කිසිදු සහායක්‌ තබා ආශීර්වාදයක්‌ හෝ නොලැබුණි. එහෙත් සිය දිගුකාලීන දේශපාලන අත්දැකීම් හා අධිෂ්ඨානශීලී බව නිසාම ඔහු තමන්ට එරෙහිව සිදුවන කිසිදු ක්‍රියාකාරකමක්‌ බරපතළ ලෙස ගණන් ගත්තේ නැති වුවද මෛත්‍රීපාල හා මහින්ද පිල යන බෙදීම ඉතා පැහැදිලිව පෙනුණකි.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ මෙම දේශපාලන හැසිරීම රටටම අලුත් අත්දැකීමක්‌ විය. ඔහු සිය පක්‍ෂයේ නැතහොත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා ක්‍රියා නොකළ අතරම එජාපයේ ජයග්‍රහණයට බාධා කළේද නැත. එහෙත් මහින්ද පිලේ ඡන්ද ව්‍යාපාරය තුළ මෛත්‍රී සමඟ සිටි අයට එරෙහිව විශාල මෙහෙයුම් සිදු වූ බව කියති. මහින්ද සමරසිංහ, එස්‌. බී., පියසේන ගමගේ ඇතුළු පිරිසක්‌ ඡන්දයෙන් පරාජය ලැබූහ.

අද ඔවුහු එළිපිටම මහින්දගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රතිඵල විවේචනය කරති. මෙහි අනිටු ඵලය වන්නේ සන්ධාන ජාතික ලැයිස්‌තුව පරාජිතයන් වෙනුවෙන් යොදා ගැනීමය. මෙය දේශපාලන වශයෙන් නිවැරැදිය. සදාචාරය වශයෙන් වැරදිය. මේ වනවිට ජාතික ලැයිස්‌තු පත්වීම් ගැන විවිධ චෝදනා නැඟෙයි. මෙහිදී මෛත්‍රී ජනාධිපතිවරයා තමන්ට එල්ල විය හැකි නිර්දය විවේචන නොතකා තමන් නිසා දේශපාලන දංගෙඩියට යෑවුණු පිරිසේ ප්‍රබල චරිත කීපයක්‌ තෝරා ගැනීමට විස්‌මිත දේශපාලන මෙහෙයුමක්‌ කළ අයුරු අපි දකිමු.

මෛත්‍රී පාර්ශ්වය උදෙසා ගත් එම පියවර නිසා සන්ධානයේ ප්‍රබල නායකයන් වූ ඩිව් ගුණසේකර, තිස්‌ස විතාරණ ඇතුළු තවත් කීපදෙනකුට ම පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබේ. දේශපාලන “ගේම්” වලට දේශපාලන “ගේම්” වලින්ම පිළිතුරු ලැබීම අපට අමුතු දේවල් නොවේ. ඒ ගැන ඊට වඩා කතා කළ යුතු නැත.

දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ මෛත්‍රී – රනිල් සුසංයෝගය බල ගන්වා රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමය. මෙහිදී ශ්‍රී ලනිපය සමඟ සන්ධානගත වූ පක්‍ෂවල නායකයන් විසින් කරනු ලබන විවේචන අපට ප්‍රතික්‍ෂේප කළ නොහැක. එහෙත් ඊට වඩා වැදගත් මේ දේශපාලන අවුල ලිහාගෙන රට තුළ ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ ගොඩනැඟීමය. මෙම මැතිවරණයේදී අගමැති රනිල් මෙන්ම ජනාධිපති මෛත්‍රී පුන පුනා කීවේ ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය සුරැකිය යුතු බවය. ඒ අනුව එම ජයග්‍රහණය සුරැකීමට නම් එයට එරෙහි වූවෝ පරාජය කළ යුතු වෙති.

ජනතාව විසින් කරන ලද්දේ එයයි. එහෙත් එහිදී ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයේ නියමුවන්ට ද පැහැදිලි බලයක්‌ හිමිවී නැත. ඒ නිසා දැන් සිදුවිය යුත්තේ සන්ධානයේ පිරිසක්‌ දිනා ගෙන, අනෙක්‌ පක්‍ෂ ද සමඟ ජාතික ආණ්‌ඩුවක්‌ ඇති කර ගැනීම බව පැහැදිලිය. මෙහිදී මතුවන ගැටලුව නම් යහපාලනය නමැති සංකල්පය සමඟ නොපෑහෙන මහින්ද පිල සමග ආණ්‌ඩුවක්‌ තැනීමය. මන්ද යත් මහින්ද පිල විවෘතව කියා සිටින්නේ තමන් ජාතික ආණ්‌ඩුවට විරුද්ධ බවත් පැහැදිලිවම සන්ධාන රජයක්‌ පිහිටුවන බවත්ය.

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් සිය පක්‍ෂයට විවෘත ආරාධනාවක්‌ කරනු ලබන්නේ ජාතික රජයකට එක්‌වන ලෙස ද දැනට වාර්තා වන අන්දමට ශ්‍රී ලනිපයේ හැත්තෑවකට නොඅඩු පිsරිසක්‌ ආණ්‌ඩුවක්‌ සඳහා එක්‌වීමට සූදානම් බවය. එහි ඇත්ත නැත්ත බලාගත හැකි වන්නේ සැප්. 01 දා පාර්ලිමේන්තුව රැස්‌වූ විටය.

මෙහිදී තවත් දෙයක්‌ කිවයුතුය. එනම් එජාපය හා ශ්‍රී ලනිප එක්‌වූ පමණින් ජාතික ආණ්‌ඩුවක්‌ බිහි නොවන බවය. අඩුම තරමින් දෙමළ සන්ධානය හෝ මෙයට එක්‌ වූයේ නම් එය ජාතික ආණ්‌ඩුවක්‌ වනු ඇත. ජාතික ආණ්‌ඩුවක්‌ පිළිබඳ දේශපාලන ඉතිහාසයේ තිබෙන ප්‍රකට නිදසුන දෙවැනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් හා ලේබර් යන පක්‍ෂ දෙක එක්‌ව ගොඩනැඟූ අගමැති වින්ස්‌ටන් චර්චිල්ගේ ආණ්‌ඩුවය. එය රටේ ජාතික ව්‍යසනයකට මුහුණ දීමට ගත් ප්‍රශස්‌ත පියවරකි.

ශ්‍රී ලංකාවේ දැන් එබඳු යුද වාතාවරණයක්‌ නැත. උතුරේත් මැතිවරණ පැවැත්වේ. උතුරට වෙනම පළාත් සභාවක්‌ ද ඇත. දකුණේත් දේශපාලන පක්‍ෂ බලය අත්පත් කරගෙන ඇත. ඒ නිසා දැන් දේශපාලන පක්‍ෂ දෙකක්‌ එකතු වීම ගැන විවිධ විවේචන මතුවේ. ජ.වි.පෙ. දැනටමත් කියන්නේ මේ ඇමැතිකම් බෙදා ගන්නට රංචු ගැසීමක්‌ බවය.

මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් කිසිවකුට උදම් විය නොහැකි බව දේශපාලන පක්‍ෂ තේරුම් ගෙන තිබේද යන්න සැක සහිතය. එ.ජා.ප.යේ ප්‍රබලයෙක්‌ කීවේ එජාපයට තනිව ආණ්‌ඩුවක්‌ හැදීමට හැකි බවය. එහෙත් ප්‍රශ්නය ඒ ආණ්‌ඩුවේ ආයු කාලය කොතරම්ද යන්නයි. මේ ගැටලුව මෛත්‍රී ජනාධිපති මෙන්ම අගමැති රනිල් ද වටහාගෙන තිබේ.

මේ මෛත්‍රී ජනාධිපතිවරයා පළකරන අදහස්‌වල සංක්‍ෂිප්තයකි.

මගේ සනාතන දේශපාලන අරමුණ වූයේ මා උපන් බිමට සේවය කිරීමත් මගේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීමත්ය. ඔවුන් පෙළෙන ආර්ථික රෝගවලට අමතරව දැන් මගේ අවධානය යොමු වූ බරපතළ වකුගඩු රෝගයකුත් තිබෙනවා. මගේ දේශපාලනය ඒවාට පිළියම් ලබාදීමේ දේශපාලනයක්‌.

මගේ පෞද්ගලික දේශපාලන බැඳීම් නොතකා මා ක්‍රියා කළ යුතුයි. දේශපාලනයේදී අප විසින් කරන ලද වැරදි හඳුනාගෙන ඒවා නිවැරැදි කිරීමටත් ජනතා සේවයටත් අප කැප විය යුතුයි.

නුදුරු අනාගතයේදී දේශපාලන හා ආර්ථික වශයෙන් බරපතල ප්‍රශ්න අපට එනවා. එම නිසා පක්‍ෂ පාට වශයෙන් බෙදීමට වඩා එකමුතුව ඒකමතිකභාවයකින් අප ක්‍රියා කරනු ඇතැයි ජනතාව බලා සිටිනවා.

මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කරන මේ එකමුතුව සඳහා හිත් හදා ගැනීමට දෙපක්‍ෂයේ අය සූදානම්ද? තවමත් ඇමැති මණ්‌ඩලය පත් කර ගැනීම අසීරු වී තිබේ. අපේ රටේ දේශපාලනඥයන් තරම් තනතුරු ලෝභයෙන් පෙළෙන අය වෙනත් රටවලත් සිටිය හැකි වෙති. එය පෘථග්ජන ගතියක්‌ ද විය හැකිය. එහෙත් දේශපාලන බලය වරප්‍රසාද ගොන්නක්‌ වී තිබෙන්නේ නම් මේ රටේ පමණි. ඇමැතිවරුන් ලෙස පත්වන සමහරුන්ට වුවමනා සෝබන පැවැත්මකි. වාහන පෙරහරවල් සමග සංදර්ශන දැමීමට ඔවුහු ප්‍රිය වෙති.

මෙයට එක්‌ විසඳුමක්‌ වන්නේ ඇමැති වරප්‍රසාද අවම කිරීම බව සමහරු පෙන්වා දෙති. රටට ඔරොත්තු දෙන ප්‍රමාණයට ඇමැතිවරුන් ප්‍රමාණය සීමා කිරීම අද අසීරු දෙයකි. අද රටේ ජනාධිපති මෙන්ම අගමැති ද සරල ජීවිත ගෙවන්නෝය. අගමැති රනිල් දැනටමත් ඇමැතිවරුන්ගේ වාහන සංදර්ශන නැවැත්වීම ගැන උනන්දු වන බව පෙනේ. මෛත්‍රී ජනාධිපති කියන්නේ ද ජනතාවගේ මුදල් පෞද්ගලික සුඛවිහරණයට හා පවුල් පෝෂණයට නොයෙදවිය යුතු බවය.

දේශපාලනඥයන් යනු බොහෝ විට තමන්ට ලැබෙන වාසිය අනුව ක්‍රියා කරන පිරිසක්‌ බවට අද පත්ව සිටිති. එ.ජා.ප., ශ්‍රී ලනිප ලෙස තිබෙන බේදයට අමතරව එකම පක්‍ෂයේ අය තුළ ද කල්ලි, කණ්‌ඩායම් තිබේ. පක්‍ෂවල විනය ද බරපතල ලෙස පිරිහී තිබේ. ශ්‍රී ලනිපය ශුද්ධ කර ගැනීමට එහි නායකත්වය දරන ප්‍රයත්නය අපට පෙනේ. එහෙත් ඒ පක්‍ෂය තුළ රජයන කල්ලිවාදය ලේසියෙන් පරාජය කළ නොහැක.

අගමැති රනිල් අපේක්‍ෂා කරන සම්මුතිවාදී දේශපාලනයට බාධා වන්නේ ද මේ තිබෙන කල්ලිවාදයයි. මෛත්‍රී පාර්ශ්වයේ සිටි රාජිත, අර්ජුන, පාඨලී මෙන්ම හිරුණිකා ද මෙවර පාර්ලිමේන්තුවට ආවේ එජාපයේ අලියා ලකුණෙන් තරග වැදී ජය ගෙනය. එහෙත් අගමැති රනිල් රහසිගත මෙහෙයුමක්‌ කර මේ කිසිවෙක්‌ පරාජය කළේ නැත. රාජිත කළුතර දිස්‌ත්‍රික්‌කයේ අංක එකට එන්නේ ඒ යහපත් දේශපාලනයට පින්සිදු වෙන්නටය. කොළඹින් රෝසි පරදවා හිරුණිකා එන්නේත් ඒ ජනමතයට රනිල් බලපෑම් නොකළ නිසාය.

පසුගියදා ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අගමැති රනිල් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ අනාගතය ස්‌ථාවර කිරීමට මෙන්ම ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සියලුදෙනාට පිළිගත හැකි විසඳුමක්‌ ලබා දෙන බවය. දෙමළ සන්ධානයත් ප්‍රධාන පක්‍ෂ දෙකත් එක්‌ව යෝජනාවලිය සැකසිය යුතු බව ඔහු පවසා තිබිණි.

කෙසේ හෝ මෙවර ජනතාව විසින් ප්‍රධාන පක්‍ෂ දෙකටම දෙන ලද පණිවිඩය වූයේ එකඟතාවකට , සම්මුතියකට පැමිණ රටේ ඉදිරි ගමනට පියවර ගන්නා ලෙසය. මෛත්‍රී ජනාධිපතිවරයා රටට කීවේත් කුමන පක්‍ෂයක්‌ බලයට ආවත් මෛත්‍රී පාලනයක්‌ රටට ලබාදෙන බවය. ඒ නිසා රනිල් මැතිවරණයේදී කී අලුත් රට හැදීමට ශ්‍රී ලනිපය ද හවුල් කරගත යුතුය. තම දේශපාලන අනන්‍යතාව නොබිඳ මේ පක්‍ෂ දෙකට සම්මුති දේශපාලනයක්‌ කළ හැකි බව ජනතාව ද විශ්වාස කරති. එහෙත් මේ පක්‍ෂ දෙකේ බහුතරය එය වටහාගෙන සිටිත්ද?

අප ඉහත සඳහන් කළ පරිදිම දෙපක්‍ෂයේම සමහරුන්ට වුවමනා ඔවුන් විසින් ප්‍රබල යෑයි කල්පනා කරනු ලබන ඇමැති ධුරයකි. මේ වනවිට ඇමැතිවරුන් පත් කිරීම මෙන්ම දිවුරුම් දීම ද යළිත් කල්දමනු ලැබ තිබේ. මේ ආකල්පයෙන් යුතු දේශපාලන මජර චරිත සමඟ යහපාලනයක්‌ පවත්වා ගෙන යැමද අභියෝගයකි. ඇත්ත වශයෙන්ම වසර හැටක්‌ නිදහස්‌ පාලනයක්‌ ගෙන ගිය බව කියන රටක සැබෑ තත්ත්වය කුමක්‌ද? පැහැදිලි දේශපාලන දැක්‌මක්‌ නැතිවීමත්, බලය සඳහා ම පොර කෑමත් රට විනාශයකට ඇද දමා තිබේ. නායකයන්ට වුවමනා වූයේ බලය තහවුරු කිරීමටත් එය නොබිඳ පවත්වාගෙන යැමටත් පමණි.

රාජ්‍ය බලය යොදවමින් ජනතාව බිය ගැන්වීම වෘත්තීය සටන් මැඬලීම සඳහා පොලිසියට අමතරව හමුදාව යෙදවීම, බලයේ සිටින පක්‍ෂයේ අභිමතයට ක්‍රියා කරන පොලිසි ගොඩනැඟීම, මර්දනය විවිධ අයුරින් ක්‍රියාත්මක කිරීම අප විසින් විඳින ලද නරකම අත්දැකීම්ය. මෛත්‍රී – රනිල් සුසංයෝගයෙන් මේ දුෂ්ට ක්‍රියාකාරකම් දුරලිය හැකි බව ජනතාවගේ පිළිගැනීම විය. එහෙත් දැන් ඒ ක්‍රියාවලිය පණ ගැන්වීමට වුවමනා දේශපාලන යාන්ත්‍රණය සකසා ගැනීමට නොහැකිව මෛත්‍රී ජනපති හා අගමැති රනිල් අසරණව සිටිත්ද?

ගාමිණී සුමනසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *