• Thu. Feb 2nd, 2023

රට බෙදිමට විරුද්ධයි – ඇමතීන්ගේ ගණන වැඩියි – විපක්ෂ නායක සම්බන්ධන්

r sambandan

කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා බීබීසීයට අදහස් දක්වමින් පවසනවා.
“සිංහල ජනතාව වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ.? යැයි බීබීසිය සිංහලෙන් විසමූ ප්‍රශ්නයට සිංහල භාෂාවෙන්ම පිළිතුරු දුන් සම්බන්ධන් කීවේ,
“සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයකු කරන සියලු දේ තමා ද කරන බවයි.විරුද්ධ විය යුතු සියලු තැන් වල දී ආණ්ඩුවට විරුද්ධ වන බවත්, යුක්ති සහගතව සහයෝගය දිය යුතු තැන් වල දී ආණ්ඩුවට සහාය දෙන බවත් නව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සිය පළමු කතාවේ දී කියා තිබේ.
ඇමැති මණ්ඩලය වැඩි කිරීමට එරෙහි වන බවත්, සියලු දෙනා ඇමැතිවරුන් වීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බවත්, කෝටි 120ක් සිටින ඉන්දියාවේ ඇමැති ධුර ගණන 65ක් බවත් සම්බන්ධන් ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රබල ද්‍රවිඩ නායකයකු වූ එස්.ජේ.වී.චෙල්වනායගම් යටතේ 1956 දී ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ සිය දේශපාලන ජීවිතයට මුල පුරන රාජවරෝදියම් සම්බන්ධන් 2001 වසරේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට පත් විය.

අනතුරුව ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානය(LTTE) සමඟ සාකච්ඡා වලට සහභාගී වීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විශේෂ අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වුනි.

කොටි සංවිධානය දෙමළ ජනයාගේ එකම නියෝජිතයා හැටියට දෙමළ ජාතික සන්ධානය විසින් එම වකවානුවේ පිළිගනු ලැබුණ අතර එම ස්ථාවරය සමඟ එකඟ නොවූ වී.ආනන්දසංගරී ඇතුළු කණ්ඩායමක් ඉවත්ව යාම සන්ධානයේ පළමු බෙදීම සළකුණු කළේය.

අවස්ථා කීපයක් වන්නියට ගිය ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෝ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුණ ගැසී සාකච්ඡා කළහ. 2003 වසරේ වන්නියේ දී ප්‍රභාකරන් මුණ ගැසුණ ආර්. සම්බන්ධන් බීබීසී වාර්තාකරු දිනසේන රතුගමගේ සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී කියා සිටියේ ‘දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය යනු දෙකක් නොවන’ බවයි.

ජාතික ප්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා දෙමින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම වෙනුවෙන් තමා පෙනී සිටින බවයි ඔහු අවධාරණය කළේ.

හැට වසරක පළපුරුද්ද

වෘත්තියෙන් නීතිවේදියකු වන රාජවරෝදියම් සම්බන්ධන් දමිළ ජාතික ප්‍රධාන දහරාවේ දේශපාලනයට එක් වන්නේ 1956 වසරේ දී ඉලන්ගයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමිනි.

යාපනයේ සහ ත්‍රිකුණාමලයේ මෙන්ම කුරුණෑගල සහ මොරටුවේ ද පාසල් අධ්‍යාපනය ලබා ඇති ආර්.සම්බන්ධන් නීති විද්‍යාලයට ඇතුළත්ව නීති අධ්‍යාපනය නිම කරනු ලැබීමෙන් අනතුරුවයි පූර්ණ දේශපාලනයට පිවිසෙන්නේ.

1977 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුනක් දිනාගත් ඔහු 1983 තෙක් ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයකු හැටියට ක්‍රියා කළේය.

1989 මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරඟ කලත් එම මැතිවරණයේදී ඔවුන්ට එම දිස්ත්‍රික්කයෙන් එකම අසුනක් වත් දිනා ගැනීමට නොහැකි විය.

හයවැනි සංශෝධනය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවැනි සංශෝධනයත් සමඟ පාර්ලිමේන්තුවෙන් බැහැර වූ සම්බන්ධන් යළි සභාගැබට පැමිණියේ 2001 මහමැතිවරණයෙනි.

සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ (TNA ) නායකත්වයට පත් කර ගනු ලැබුණේත් එම වසරේ දීය.

ඔහු එතැන් පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට ක්‍රියා කරන අතර සිය දේශපාලන නායකයකු වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විසින්ද දැරූ විපක්ෂ නායක පදවියට 2015 සැප්තැම්බර් තුන් වෙනි දින පත් විය.

දමිළ ජාතිකයකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත් වන්නේ වසර තිහකට අධික කාලයකට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *