• Sat. Jan 28th, 2023

ඡන්දේත් ඉවරයි – ඇවන්ගාඞ් නඩුවත් ඉවරයි.

avanguard
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව පැවති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (07) නියෝග කරනු ලැබුවා.
එසේම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ බවයි මධ්‍ය වාර්තා සඳහන් කළේ.රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැනුම් දුන් බවයි.

රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ නඩුවට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දුන්නේය.

නීතිපතිවරයා විසින් ලබා දුන් එම උපදෙස් පරිදි නිශ්ශංක සේනාධිපති මහතාගේ විදේශ ගමන් තහනම ඉවත් කළ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඒ බව වහාම ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස නියම කෙළේය.

2015 ජනවාරි 8 දින හෝ ඊට ආසන්න දිනයකදී ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ ‘මහනුවර’ නම් වූ නෞකාව ගාල්ල පොලිසිය විසින් පරීක්ෂා කර තිබූ අතර එම නෞකාවේ කන්ටේනර් 22ක් පමණ වූ අවි ආයුධ ප‍්‍රමාණයක් සොයා ගන්නා ලදී.

එම සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය, ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර පසුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙහි පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය වෙත භාර දී තිබිණි.

මේ පරීක්ෂණයට අදාළව ඇවන්ගාඞ් මෙරිටයිම් පෞද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන අයගේ විදේශ ගමන් 2015 ජනවාරි 23 වැනිදා සිට අධිකරණ නියෝග මත තහනම් කර තිබිණි.

මේ සිද්ධියට අදාළව විදේශීය රටවල නිෂ්පාදිත නවීන පන්නයේ විවිධ ආයුධ සහ සංග‍්‍රාමික උපකරණවලට අයත් ගිනි අවි 3,154ක් සහ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 7,45,859ක් පොලිසියේ නිරීක්ෂණයට ලක්වී තිබිණි.

මේ සිද්ධියට අදාළව රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙසේ දන්වා සිටියේය.

මේ විමර්ශනය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළ උද්ධෘත සකස් කර නීතිපතිවරයා වෙත 2015 මාර්තු 12 වැනි දින බීඅධි/58/15 යටතේ යොමු කර ඇති අතර ඒ අනුව 2015 ජුනි 2 වැනි දින ඊට අදාළ නීතිපති උපදෙස් ලිඛිතව ලැබුණු බව වාර්තා කරමි.

විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් ලබා ගන්නා ලද උපදෙස් සහ මෙතෙක් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු අනුව නිශ්ශංක සේනාධිපති නමැති අයට එරෙහිව තවදුරටත් විදේශ ගමන් තහනම් නියෝග පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවන බවට අධිකරණයට වාර්තා කරමි. ඒ අනුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනතේ 124 වැනි වගන්තිය ප‍්‍රකාරව ඔහු හට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිමි. මේ නඩුවේ නඩු කටයුතු අද දින අවසන් කර නඩුව ඛ් 4 අක්ෂර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමි.

නීතිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව අදාළ නඩුවේ නඩු කටයුතු අවසන් කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා තීරණය කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *