රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
තාජුඩීන් භාවිත කළ බව කියන ජංගම දුරකතනය හමුවී ඇතැයි අධිකරණයට දැනුම් දුන් නීතීඥවරයා එහි දත්ත ඇතැයි විශ්වාස කරන බව ද කීවේය.
එම දුරකතනය සම්බන්ධයෙන් විශේලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කළමනාකාරුට නියෝග කළේය.
දැනට අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයා ගැන කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශය හෙළා දකින බවත්, රජයේ වැදගත් තනතුරක් දැරූ ඔහු වැනි පුද්ගලයකු එවැන්නක් නොකර සිටීමට තිබූ බවත් අගතියට පත් පාර්ශ්වය හා නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
ඔහුගේ ප්‍රකාශවලින් පරීක්ෂණයට බාධා සිදු වෙනවා නම් ඒ ගැන රහස් පොලිසිය මගින් දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් කීවේය.
නඩු පොත සේප්පුවේ තබන ලෙස රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති හෙයින් එවැනි නියෝගයක් දිය නොහැකි බව කීවේය. සිද්ධිය වාර්තා කිරීමේ දී ආචාර ධර්මවලට අනුව එය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය.
