බස් රථයේ හිඳ ගැනීමට අසුනක් නොලැබ අසීරුවෙන් සිටියදී වේගයෙන් ධාවනය වූ බස් රථයෙන් එළියට විසි වුනු ගැබිණි මව ඔබට මතකඇති.එම අනතුරෙන් බරපතළ තුවාල ලබා මාස 7 ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි ගම්පොල උලපනේ මහවිලවත්ත පදිංචි නවමස් ගැබිනි මව මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
තව දින 15 කින් දරු පැටියකුගේ මුහුණ බැලීමට පෙරුම් පුරමින් නාවලපිටිය රෝහලේ පැවැති වෛද්‍ය සායනයට යැම සඳහා හැටන් – නුවර බස් රථයක ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්වී සිටියේ කේ. චන්ද්‍රමාලා නමැති 28 හැවිරිදි ගැබිනියකි.
ඇය මෙසේ සිය කුළුඳුල් දරුවාගේ මුහුණ බැලීමට පෙරුම් පුරමින් මෙම බස් රථයට මෙම වසරේ පෙබරවාරි 11 වැනි දින උලපනේ පාලම අසලින් ගොඩවී තිබිණි.
නමුත් ඇයට බස් රථයේ නිසි අසුනක් නොලැබීමෙන් ඇය මද දුරක් හිටගෙන ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් ගමන් ගත් බස් රථය වංගුවක් ගැනීමත් සමඟ ඇය පිටුපස දොරෙන් එළියට විසි වී මහ පාර මැදට වැටී තිබිණි.
අවට සිටි පිරිස් ඇය ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට යවා තිබූ අතර එහිදී ඇයගේ දරුවා සිසේරියන් සැත්කමකින් රැගෙන තිබිණි.
එදින සිට මාස 7 ක් පුරා සම්පූර්ණ පියවි සිහිය නොලැබ මහනුවර හා ගම්පොල රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇයට ප්‍රතිකාර ලබා දී ඇත.
මේ අයුරින් සිටියදී පසුගිය මස ඇයගේ ටිකට් කපා නිවසට යවා තිබියදී ඇයට නැවතත් අමාරු වීම නිසා රෝහල්ගත කර සිටියදී මෙසේ මියගොස් ඇත. ඇයගේ මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (10 දින) ගම්පොල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.