• Thu. Feb 2nd, 2023

කේ.පී.-ප්‍රගීත්-රවිරාජ් පරීක්ෂණ යළි ඇරඹේ | වාර්තාවන් අගමැති කැඳවයි

ranil wickremesinghe

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වත්මන් නායකයා ලෙස සැලකෙන කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. සම්බන්ධයෙන් යළිත් මුලසිටම පරීක්ෂණයක් කරනා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ඊයේ (10) උපදෙස් ලබාදී තිබෙන බව මාධ්‍ය වාර්තා සන්දහන් කරනවා.නීතිපති දෙපාර්තමේන්තුව කේ.පී. සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් ලබාදී ඇත්තේ. ගිනි අවි පනත යටතේ කේ.පීට එරෙහිව චෝදනා ගොනු කළ නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.
එම නිසා කේ.පී. සම්බන්ධයෙන් මුලසිටම පරීක්ෂණ කරනා ලෙසත් හැකි ඉක්මනින් එහි වාර්තාවන් තමන් වෙත ලබා දෙන ලෙසත් අගමැතිවරයා ‍පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. ඊට අමතරව පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද දැනුම් දෙන ලෙසද උපදෙස් ලබාදී තිබේ.

ප්‍රගීත් ගැන පරීක්ෂණ යටගහන්න හදලා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පැහැරගෙන ගොස් හිරිහැර කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ යළිත් මුලසිට ආරම්භ කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ඊයේ (10) උපදෙස් ලබාදී ඇත.
ඉහත සිද්ධීන් සම්බන්ධයෙන් ‍පොලිස් දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ගත් පියවරයන් ගැන සෑහීමකට පත්විය නොහැකි බව මන්ත්‍රීවරු හා සිවිල් සංවිධාන අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම හා මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පැහැරගෙන යාම යන සිද්ධීන්ට රාජපක්ෂ පාලන සමයේදී යුද හමුදා බුද්ධි අංශ ක්‍රියාකළ ආකාරය හා තොරතුරුද මන්ත්‍රීවරු අගමැතිවරයාට ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධීන් යටගැසීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ භාර ඉහළ නිලධාරියෙකු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස මන්ත්‍රීවරු හා සිවිල් සංවිධාන නියෝජිතයන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

රවිරාජ් ඝාතන පරීක්ෂණ සැක සහිතයි.

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලතල ප්‍රකාරව විශේෂ පරීක්ෂණයක් කරනා ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පුහුණු වැඩමුළුවකින් පසු මැති ඇමැතිවරු මෙලෙස අගමැති කාර්යාලයේදී අගමැතිවරයාගෙන් මේ ඉල්ලීම කර තිබෙන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
‍පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අගමැතිවරයාට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරනා ලෙසද මන්ත්‍රී පිරිස සභානායක
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන්ද ඉල්ලීමක් කර ඇත.
මන්ත්‍රීවරයකු ලෙස රවිරාජ් මහතා ප්‍රභාකරන්ට විරුද්ධව අදහස් පළකළ මන්ත්‍රීවරයෙක් බවත් ඔහු දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි අයෙකු බවත් මන්ත්‍රීවරු දන්වා තිබේ. එම නිසා මෙම ඝාතනය කළ පාර්ශ්වය ගැන හෙළිදරව් කරනා ලෙසද මන්ත්‍රීවරු ඉල්ලා තිබේ.
තවද මෙම පරීක්ෂණ අවසන් කිරීමට නොහැකිවූ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසද මේ පිරිස ඉල්ලීම් කර ඇත. මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු ලබන සතියේදී හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

 

(ලක්බිම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *