එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් වන මහ සැසිවාරය අද (14) ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වීමට නියමිතය. ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයේ වාර්තාව මෙවර සැසිවාරයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බැවින් මෙම සැසිය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත්වේ. එම වාර්තාව නිල වශයෙන් ලබන 30 වැනිදා ජිනීවා මානව හිමිකම් සැසිවාර සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
රටවල් 47ක නියෝජිතයින් සහභාගි වන මෙම ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ලබන මස දෙවැනි දින දක්වා පැවැත්වෙනු ඇත. කෙසේවුවද රට තුළ ගොඩනැගී ඇති නව දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙවර යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක් උදාවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට තුළ දේශීය විමර්ශනයක් සිදු කිරීම සඳහා ඉඩසලසන යෝජනාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට සහය පළ කරන බව දැනටත් ප්‍රකාශ කර ඇත.
මේ අතර ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසෙයින් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) පවත්වා තිබෙනවා. අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයින්ද සැසිවාරය සඳහා සහභාගි වන අතර ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතාද නියෝජිත පිරිසට එක්ව සිටිනවා.