• Tue. Feb 7th, 2023

සීපා ගිවිසුම ගැන ජවිපෙ ඇසින්

cepa

ලාංකීය දේශපාලන භූමිකාව තුළ උණුසුම් වන මාතෘකාවක්‌ බවට පත්ව ඇත්තේ සීපා (CEPA)  වෙළඳ ගිවිසුම සම්බන්ධවයි.
මෙය ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති විස්‌තීර්ණ ආර්ථික සහයෝගීත්ව ගිවිසුමකි.භාණ්‌ඩ සේවා හා ආයෝජන සඳහා පුළුල්ම ඉඩ හදන ගිවිසුමක්‌ ලෙස සීපා හැඳින්විය හැක. මෙයට අදාළව පවතින සියලු ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය ඉඩ සාදා ගැනීමට සීපා තුළ අන්තර්ගතය ඉන්දියාවේ අරමුණ වී ඇත්තේ.අප මෙයට පෙර වෙළඳ ගිවිසුම් ගණනාවක්‌ විවිධ රටවල් සමඟ අත්සන් කර ඇත. ඉන්දියාව, පකිස්‌තානය ඇතුළු කලාපීය රටවල් සමඟ විවිධ අවස්‌ථාවල ඇතිකරගත් වෙළඳ ගිවිසුම් කීපයක්‌ දැන් ක්‍රියාත්මකය. එම සෑම ගිවිසුමක්‌ම පසුබිම් වූයේ භාණ්‌ඩ වෙළඳාම සම්බන්ධයෙනි. නමුත් ඒ සියලු ගිවිසුම්වලට වඩා වෙනත් ගිවිසුමකට යැමට දෙරට සූදානම් වන බව CEPA ගිවිසුමට එරෙහිව ඇති ප්‍රතිචාරවලින් පෙනේ.දේශපාලන පක්‍ෂ ව්‍යාපාරිකයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනා මෙය අත්සන් කිරීම වහාම නවත්වන ලෙස බලකරමින් සිටී.

‘සීපා’ ගැන කතා කරන විට WTO හෙවත් ලෝක වෙළඳ සංවිධානය ගැන කතා කළ යුතුම වෙයි.ලෝක වෙළඳ සංවිධානයට ලොව පුරා ජනතාවගේ විරෝධය කොපමණ උත්සන්න වීද යන්න 2007 න් පසුව ඔවුන්ගේ වාර්ෂික සමුළු පැවැත්වීම නවතා දමා ඇත. ලෝකය පුරා නිදහස්‌ වෙළඳාමට ඉඩ සලසා ඇති සමාන තත්ත්වයන් ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් හරහා ඇති කිරීමට රටවල්වලට උපදෙස්‌ ලබා දී ඇත. ලෝකය පුරා රටවල් අතර ද්විපාර්ශ්වීය හා කලාපීය ගිවිසුම් 400 කට වැඩි ප්‍රමාණයක්‌ අත්සන් කර නැති බව 2008 අවසන් වන විට ඝැඨ්ඨ් හා WTO වෙත අදාළ රටවල් විසින් දැනුම් දී ඇත. ලෝක වෙළෙඳ සංවිධානයේ ඉලක්‌කය වී තිබුණේ 2010 වන විට එවැනි ගිවිසුම් 4000 කට වැඩි ප්‍රමාණයක්‌ ලෝකය පුරා ඇති කිරීමය. එමගින් වෙළඳාමට ඇති බාධා ඉවත් කිරීමය. ඒ අනුව ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ වෙළඳාම සඳහා ඇති බාධා ඉවත් කිරීමට ඇති ඉඩ ඇති කරමින් ගිවිසුම් ඇතිකර ගැනීමට රටවල් උනන්දු කිරීම ඔවුන් විසින් කරමින් ඇත. ආර්ථිකමය ලෙස ශක්‌තිමත් රාජ්‍යයන් ගැනත් එවැනිම රාජ්‍යයන් සමඟ ද්වීපාර්ශ්වීය වෙළඳ ගිවිසුම්වලට එළඹෙන්නේ නම් රටේත් ආර්ථිකයේත් හැකියාව හා කර්මාන්තත් ගොවියාත් රැකෙන පරිදිය. නමුත් කුඩා රාජ්‍යයන් එසේත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී ඔවුන් එම රාජ්‍ය තුළ වෙළඳාම සඳහා පූර්ණ නිදහස ලබාගැනීමේ අරමුණින් ගිවිසුම් සකස්‌ කර ගැනීමට මෙම වෙළඳ ගිවිසුම තුළ සියලු දේවල් ඇතුළත් කර ඇත. එවිට WTO එකඟතාවයෙනුත් ඉන්දීය බලහත්කාරයත් ආණ්‌ඩුවේ නිවටකමත් එක්‌ කරන ලද ගිවිසුමක්‌ බවට සීපා පත්වී ඇත.

සීපා තුළ අන්තර්ගත ක්‍ෂේත්‍රයන්,

1. භාණ්‌ඩ වෙළඳාම

2. සේවා වෙළඳාම

3. දේශ සීමා බාධාවලින් තොරව වෘත්තීන්හි නියෑලීමට ඇති අයිතිය

4. ආයෝජන

5. ගුවන් සේවා

6. රේගු සේවා

7 තත්ත්ව හා තාක්‍ෂණික නියාමනයන්, සනීපාරක්‍ෂක හා හුවමාරුව හරහා සිදුවිය හැකි සනීපාරක්‍ෂක මැහුම් ක්‍රම

8. ආර්ථික සහයෝගිතාවන්

මෙහි මූලික නියාමයන් සියල්ල ලෝක වෙළඳ සංවිධානයේ සම්මුතීන් හා සම්බන්ධ කර ඇත. භාණ්‌ඩ හා සේවා වෙළඳාම වෙනුවෙන් අනුගමනය කරනු ලබන්නේ ලෝක වෙළඳ සංවිධානයේ ඝැඨ්ඨ් සම්මුතියේ එකඟතාවන්ය. ඒ අනුව අපනයනයේදී ඇති වන ගැටලු ඉවත්කර ගැනීම සඳහා ප්‍රපාත ප්‍රතිතෝලන බදු (Anty Dumping and Counterwailling duty) හා ආරක්‍ෂණ පියවර එකඟතාවන්හි වගන්ති අනුව ඇති වන සියලු බාධක ඉවත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වෙයි. මේ සම්බන්ධයෙන් 2006 සිට පාර්ලිමේන්තුවේදී සිදු වූ සංවාදය නිසා මෙම පනත් දෙකම සම්මත කිරීම නවතා දමන ලදී. ඒ සම්බන්ධයෙන් අප ලංකා වාණිජ මණ්‌ඩලය සමඟත් මෙම පනත් සම්මත වුවහොත් වෙළ¹මට කර්මාන්තවලට සිදුවන බලපෑම කවරේද යන්න සාකච්ඡා කරන ලදී. එසේ රටට අහිතකර නිසා සම්මත කර ගැනීමට ඉඩ නොදුන් පනත් නැවත මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජය විසින් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතුය. එවිට වෙළඳාම සම්බන්ධයෙන් ඇති සියලු බාධා ඉවත් වනු ඇත. බදු පැනවීමේ හැකියාව අහෝසි වනු ඇත. මේ හරහා බරපතල ප්‍රශ්න ගණනාවක්‌ ඇති කරනු ලබයි. අනෙකුත් ක්‍ෂේත්‍ර හරහා ද සිදුවනුයේ ආර්ථිකයට මැදිහත් වීමට අවශ්‍ය ඉඩ ලබාගැනීමයි. මෙහිදී අප ජාත්‍යන්තර වෙළඳාම පිවිසීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක්‌ නැත. නමුත් අප ආර්ථිකය නිදහස්‌ කිරීමට සූදානම් වන්නේ ඉන්දියාවට පමණක්‌ නොව ලෝකයටම බව හොඳින් වටහා ගත යුතුය. අප යම් හෙයකින් සීපා ගිවිසුම අත්සන් කළහොත් ලෝක වෙළඳ සංවිධානයේ මඟපෙන්වීම හා එකඟතා අනුව ලෝකයෙන් අනෙක්‌ රටවලටත් ඒ ඉඩ ලබා දිය යුතු බව තරයේ සිහි තබාගත යුතුය.

අප සීපා අත්සන් කිරීමට යන විට අපට ගැටලු ගණනාවක්‌ මතුවෙයි. ආර්ථිකයක්‌ ලෙස ඉන්දියාවත් සමඟ නිදහස්‌ වෙළඳපොළ තරගයට සූදානම් ද යන්නයි. ඉන්දීය ආර්ථිකයේ විශේෂත්වයක්‌ ඉන්දියාව තුළ පවතින තාක්‍ෂණික දියුණුවට හා එහි ප්‍රතිඵලයක්‌ ලෙස එහි නිෂ්පාදන ඵලදායිතාවයක්‌ විශේෂයෙන් ඉහළ කෘෂි නිෂ්පාදනය සමඟ නිදහස්‌ වෙළඳපොළක්‌ තුළ තරග කළ හැකිද යන්න සොයා බැලිය යුතුය. එමෙන්ම ඉන්දීය ජනගහනය හා රැකියා වියුක්‌තිය කොපමණද? එම විරැකියාවට පිළිතුරු සොයන බිමක්‌ බව අප පත්වන්නේඅද යන්න අප සිතා බැලිය යුතුය. ඉන්දීය ශ්‍රම බලකායට වාර්ෂිකව එකතු වන ප්‍රමාණය 2.5% කි. නමුත් එම රැකියා නියුක්‌තිය එකතු වන්නේ 0.2% ප්‍රමාණයකි. ඉන්දීය ශ්‍රම බළකායෙන් 60% ක්‌ ස්‌වයං රැකියාවල නියුතු වූවන් වන අතර මෙයින් අතිවිශාල ප්‍රමාණයක්‌ ඉතා දුප්පතුන් වන අතර එදිනෙදා ජීවත්වීමට කුමක්‌ හෝ කිරීමට ඔවුන්ට සිදුව ඇත. ඉන්දීය ශ්‍රම බළකායෙන් තවත් 30% ක්‌ අනියම් රැකියාවල නියුතු වූවන් වෙයි. ඔවුන් දෛනික වැටුප් ලබන්නන්අ වන අතර වැඩ කළහොත් පමණක්‌ වැටුප් ලබන අතර වැඩ නැති දිනවලට වැටුප් නොලබන කම්කරුවන්ය. ඉතිරි 10% ඉන්දියාවේ එදිනෙදා රැකියාවල නියුතු වූවන් (ස්‌ථිර රැකියා කරන්නන්) වන අතර එයින් 2.5% ක්‌ රජයේ සේවකයන් වෙයි.

ඉන්දීය ශ්‍රම බලකාය කොපමණද යන්න සිතා ගැනීමට ඇති හොඳම නිදසුන වන්නේ වසරක්‌ තුළ ඉන්දීය ශ්‍රම බළකායට එකතු වන ප්‍රමාණය ලක්‍ෂ 70 කට වැඩිය. එය අපේ රටේ සම්පූර්ණ ශ්‍රම බළකායට සමාන ප්‍රමාණයකි. ඉන්දියාවේ 90% ක්‌ වන ශ්‍රම බළකාය රැකියාවක නියුතුව සිටින්නේ අසංවිධානාත්මක ක්‍ෂේත්‍රවලය. මෙම පිරිස සඳහා ලංකාවට පැමිණ රැකියාවක්‌ කිරීමට දැනට ගැටලු ගණනාවක්‌ ඇත. එසේ නොවන්නේ නම් විශාල පිරිසක්‌ ලංකාවට පැමිණ ඉතා අඩු වැටුප්වලට දැඩි අවදානම් රැකියා පවා කිරීමට පෙළඹෙනු ඇත. සීපා හරහා සිදුකරනු ලබන්නේ මෙම ඉන්දීය ශ්‍රම බළකායට බාධාවකින් තොරව ලංකාවට පැමිණ රැකියාවක්‌ කිරීමට ඉඩ ප්‍රස්‌ථා සකස්‌ කර ගැනීමයි.

පුද්ගලයන්ට දේශ සීමා බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා ඉඩ සැලසීමට මේ හරහා සාකච්ඡා කර ඇත. මෙය ඉන්දියාවේ විරැකියා නමැති ගංවතුරට ලංකාව නමැති ගේට්‌ටුව විවෘත කිරීම බඳුය. මන්දයත් ඉන්දියාවේ පවතින විරැකියාව අප වඩා හොඳින් තේරුම් ගත යුතුය. අපේ එක්‌ අයෙකුට රැකියාවක්‌ සොයා ගැනීමට අපහසු වන විට ඉන්දියාවේ 60 දෙනකුට එය එසේ වී ඇත. එයින් සිදුවිය හැක්‌කේ විරැකියාවෙන් සිටින ඉන්දියානු කම්කරුවන් විශාල ප්‍රමාණයකට ලංකාවට පැමිණීම සඳහා ඉඩ පහසුකම් සලසා දීමය.

දේශීය කර්මාන්ත හා නිෂ්පාදන බරපතල අර්බුදයකට සීපා හරහා ඇද දැමීම වළක්‌වන ක්‍රමවේදය කුමක්‌ද යන්න අප සොයා බැලිය යුතුය. ඒ සඳහා යෝජනා කර ඇත්තේ විවෘත තරගය සඳහා අපේ නිෂ්පාදකයන් සූදානම් විය යුතු බවයි. ඉන්දීය මහා පරිමාණ නිෂ්පාදන, තාක්‍ෂණය මුසු වූ නිෂ්පාදන ඵලදායිතාව සමඟ තරග කිරීමට ලාභදායී හා කාර්යක්‍ෂම භාණ්‌ඩ නිෂ්පාදනයක්‌ කිරීමට අපේ දේශීය නිෂ්පාදකයන් සමත් වේද? එසේම සුළු රැකියා, ස්‌වයං රැකියා කරන්නන්ට මුහුණදීමට සිදුවන අභියෝගයන්ට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුය. සීපා හරහා කරණවෑමියකුට වෘත්තිකයකු ලෙස ඉන්දියාව නිකුත් කරන සහතිකයක්‌ රැගෙන ලංකාවේ මංසන්දියක්‌ නෑර කොණ්‌ඩය කැපීම කර්මාන්තයක්‌ ලෙස කරගෙන යා හැකිය. එහි වැඩ කිරීමට ඉන්දීය බාබර්වරු අඩු ක්‍රමයට ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට ඔවුන්ට අයිතිය ඇත. එවිට කොණ්‌ඩ කැපීම ස්‌වයං රැකියාවක්‌ ලෙස කරමින් ජීවත් වන අප රටේ පවුල් 25000 ක පමණ ජීවත්වීමේ මාර්ග අහිමි වී යනු ඇත. එවිට මතුවන සමාජ ප්‍රශ්න ගණනාවක්‌ ද ඇති බව අමතක නොකළ යුතුය.

රැකියා උත්පාදනය වන්නේ යෑයි පම්පෝරි ගසන සීපා පක්‍ෂග්‍රාහී පාර්ශ්වය පිළිතුරු නොදෙන කරුණු කිහිපයක්‌ ඇත. අවදානමට ලක්‌වන දේශීය ස්‌වයං රැකියා කරන්නන්ට සිදුවන්නේ කුමක්‌ද.? අපේ රටේ ශ්‍රම බළකායෙන් 32% ක්‌ පමණ ස්‌වයං රැකියාවල නියුතු වූවන්ය. එමෙන්ම, කර්මාන්ත අතර තරගයේදී වැසී යන කර්මාන්තවලින් එලියට වැටෙන කම්කරුවන්ට සිදුවන්නේ කුමක්‌ද? මේ වන විට ලක්‍ෂ අටක්‌ පමණ වන ලංකාවේ කිසිදු රැකියාවක්‌ නොකරන පිරිස වේගයෙන් ඉහළ යැම නොවැළැක්‌විය හැක්‌කක්‌ වන අතර ඔවුන්ට ඉන්දියාවේ රැකියා කරන්නට යා හැකි යෑයි තර්ක කරන්නට හැකිය. නමුත් ප්‍රශ්නය අපට රැකියා අහිමි වන්නේ එක්‌ පැත්තකින් නිෂ්පාදන තරගය නිසාය. අනෙක්‌ පැත්තෙන් ඉන්දීය කම්කරුවන් පැමිණ අඩු වැටුපකට වැඩ කරන නිසාත්ය. අප රටේ රැකියා අහිමි වන්නන්ට ඉන්දියාවට ගියත් වැඩ කරන්න සිදුවන්නේ ඉතාම අඩු පඩියකට වන අතර එසේ යැමටත් කිසිදු ඉඩක්‌ ලැබෙන්නේ නැත. හේතුව ඉන්දියාවේ විරැකියා ප්‍රමාණය ඉතා විශාල එකක්‌ වන බැවිණි.

රටක්‌ ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට ඇති ඉඩකඩ පවා අහිමි වී යනු ඇත. විශේෂයෙන් බදු පැනවීම කළ නොහැකි වන අතර රජයේ ආදායම් සීඝ්‍රයෙන් පහළ යනු ඇත. එවිට රජය විසින් දැනටමත් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සඳහා සහන සැලසීමට රජයට නොහැකි වනු ඇත. ඒ අතරින් අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍ර බරපතල ප්‍රශ්නයකට මුහුණදෙනු ඇත. එයට හේතුව වන්නේ මෙම සේවා පවත්වාගෙන යන්නේ අපේ රටේ අඩු ආදායම් හා දුප්පත් පවුල්වල පෝෂණය මෙන්ම රටක අනාගත සංවර්ධනය සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍රවල ඇති වටිනාකම නිසාය. විශේෂයෙන්ම රටේ ජනගහනයෙන් 42.5% දිනකට රුපියල් 200 ක අඩු ආදායම් ලබන පවුල්වලට එම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යැම රජයට ගැටලුවක්‌ වනු ඇත. සමානාත්මතාව පිළිබඳව රජයකට ඇති වගකීම ඉටුකිරීමට නොහැකි වනු ඇත. කලාපීය ලෙස දුප්පත්කම අපට බරපතල ප්‍රශ්නයකි. දුප්පතුන් සඳහා සුබසාධක සේවා පවත්වාගෙන යැමට රජයට ඇති හැකියාව අහිමි වීම නිසා ආර්ථිකය තුළ නව පන්නයේ ගැටලු ගණනාවක්‌ මතුවනු ඇත. එමෙන්ම දේශීය කර්මාන්ත රැකගැනීම හා ආනයන අධෛර්ය කිරීමට පනවන බදු පැනවීමට නොහැකිවීම නිසාත් අපේ රටේ කර්මාන්ත අර්බුදයට යැමත් බදු ආදායම් අහිමිවීමත් සිදුවනු ඇත. තවද රටක ප්‍රතිපත්ති සම්පාදනය කරන්නන් තීරණ ගනු ලබන්නේ අනාගත පරපුරකට ඇති ඉඩ ආරක්‍ෂා කරමිනි. නමුත් සීපාවලින් පසු මේ සියලු අවස්‌ථා අපට අහිමි කරනු ඇත. මේ හරහා සිදුවිය හැකි සංවර්ධන ඉලක්‌කයන් ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙනුත් පරීක්‍ෂා කර නොගැනීම ජාතික අපරාධයක්‌ බව සීපා සාකච්ඡාවලට සහභාගි වූවන්ට නොතේරුනේද?

පාරිභෝගික භාණ්‌ඩවල මිල මත බරපතල බලපෑමක්‌ ඇති කරයි. කෙටි කාලීනව විශාල ලෙස භාණ්‌ඩ වෙළඳපොළට එවමින් මිල පහළ දැමීමක්‌ කරනු ලබන අතර දේශීය කර්මාන්ත තරගයට මුහුණ දීමට නොහැකිවීමෙන් කර්මාන්ත වැසීයැමත් නිෂ්පාදන බිඳවැටීමත් සිදුවෙයි. දිගුකාලීනව එම භාණ්‌ඩ නිෂ්පාදන මත ඒකාධිකාරයක්‌ ගොඩනැඟෙන අතර භාණ්‌ඩ මිල ඉහළ යැම ඒ හරහා සිදුවෙයි. ලංකාවේ මෝටර් බයිසිකල් වෙළෙඳපොළ තුළ ඉන්දීය හා ජපන් බයිසිකල් අතර තරගයට මූලිකව පහසුකමක්‌ ලෙස ඉන්දියාවට බදු සහනය පාවිච්චි කළේය. ඉන්දීය බයික්‌ සඳහා 47% වන බදු ජපන් බයිසිකලයක්‌ හා 67% ක්‌ වෙයි. දැන් කාලයක්‌ ගෙවී ගියේය. බයිසිකල් වෙළෙඳපොළෙන් 95% කට වැඩි ප්‍රමාණයක්‌ ඉන්දියන් බයිසිකල්ය. නමුත් මිල දැන් ඉහළ ගොස්‌ ඇත. පාරිභෝගිකයන්ට බදු අඩු කර දීමේ සහනය ලබා දී නැත. තවත් විශේෂ කරුණක්‌ වන්නේ ලෝකය තුළම වැනි බදුවලට පවතින විරෝධයයි. එවැනි බදු අය කිරීම සම්බන්ධයෙන් රජයට සීමා පැනවීම්වලට යටත් වීමට සිදුවන අතර රාජ්‍ය ආදායම දැවැන්ත ලෙස පහළ යැම නොවැළැක්‌විය හැකි කරුණක්‌ වනු ඇත.

ලංකාවට අවාසි කොන්දේසි ඇතුළත් කිසිදු ගිවිසුමකට තමන් අත්සන් කරන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ කර ඇත. එමෙන්ම ඉන්දීය නියෝජ්‍ය විදේශ ඇමැතිවරයාට ජනාධිපතිවරයා විසින් පවසා තිබුණේ සීපාවලට විරුද්ධ වන රටේ සමහර අය එයට විරුද්ධ වන්නේ ගිවිසුම ගැන නොදැන බවය. ඒ බව ඉන්දීය නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා මහනුවර ප්‍රදේශයේ පාසලකදී ප්‍රකාශ කර තිබිණි. එසේ නම් දැන් ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර වහාම මහජනතාවටත් දැකගත හැකි ලෙස එය ප්‍රසිද්ධ කළ යුතුය. අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළ යුතුය. ඉන්දීය නිලධාරීන්ගේ ඩොලර් මත කඩේ යන ආචාර්ය මහාචාර්යවරු දෙතුන් දෙනකුගේ පෙළඹවීම හරහා ලංකා ආණ්‌ඩුවේ අතකැරකැවීමේ යෙදී සිටින බව හොඳින් තේරුම් ගත යුතුය. ඒ නිසා සීපා සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක්‌ ගොඩනැඟීමට රජය වහාම මැදිහත් විය යුතුය. ජනතාවට ප්‍රසිද්ධ නොකරන ලද හොරෙන් සාකච්ඡා කරන සීපා ගිවිසුම වහාම රටට ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව සීපාවලට එරෙහි විරෝධය යට කිරීමට සැලසුම් කිරීමෙන් සිදුවන්නේ සමස්‌ත රටක්‌ අගාධයට යැමක්‌ බව තේරුම් ගත යුතුය. එසේ සිදුවුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන්ට සිදුවන්නේ ඉන්දියානු බලපෑම හරහා ඇතිවන සියලු දුෂ්කරතාවන්ට මුහුණ දීමටය. එසේ නොවන්නේ නම් සියතින් ගෙල වැලළා ගැනීම හැර අන් මගක්‌ නැත.

වසන්ත සමරසිංහ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *