• Thu. Feb 2nd, 2023

උඩුගම්‍පොළ ත‍්‍රිත්ව ඝාතනයේ සැකකරු අල්ලයි – 4 හැවිරිදි දැරිය පණපිටින් ළිඳට දාලා..!

udugampola

ගම්පහ, උඩුගම්‍පොළ ප‍්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ ත‍්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හෙවත් නිවසේ මෙහෙකරු සොරාගත් ලොරි රථය ද සමග ගම්පහ ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරු ඝාතනයෙන් පසුව පන්නල ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී ‍පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙළි කරන ලද තොරතුරුවලට අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාව සමග තිබූ අනියම් ඇසුරක් බව ‍පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

සැකකරු කාන්තාව සමග සිටින අයුරු දින දෙකක දී ඝාතනයට ලක් වූ සැමියාට අසුවුණු බවත් ඒ අවස්ථා දෙකේදීම ස්වාමියා සැකකරුට නිවසින් පිටව යන ලෙසට දැන්වුවත් එම කාන්තාව යන්නට නොදුන් බවත් ඔහු පවසා ඇත. එයට හේතු වී ඇත්තේ ඒ සියලූ‍ දේපළ එම කාන්තාවට අයත්ව තිබිමය. මේ නිසා එම කාන්තාව හා සැමියා නිතර දබර වූ බව ද සැකකරු පවසා ඇත.
ඒ අනුව සිද්ධිය වූ දින එනම් පසුගිය 04 වැනි දා සන්ධ්‍යාවේ මියගිය කාන්තාවත් සැමියාත් දබර කරමින් සිට ඇති අතර මෙම ගැටුමට සැකකරු ද මැදිහත් වී ඇත. එහි දී සැකකරු ‍පොල්ලකින් සැමියාට පහරදීමට උත්සාහ දරා ඇත. එහි දී එම ‍පොලූ‍ පහර බිරිඳට වැදී ඇත. එම ප‍්‍රහාරයෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත.

පසුව ඔහු දෙවැනි ‍පොලූ‍ පහර හාම්පුතාට එල්ල කර ඔහු ද ඝාතනය කර ඇත. ඉන් අනතුරුව මළ සිරුරු දෙක ඇඳ ඇතිරිල්ලක දමා බිම දිගේ රැුගෙනවිත් කාමරයක දමා එම ඇඳ ඇතිරිල්ලෙන් සිරුරු වසා ඇත.

ඉන් අනතුරුව සැකකරු අවුරුදු 04ක් වයසැති දැරිය රැුය එළිවන තුරු රඳවා තබාගනිමින් සිට ඇත්තේ නිවසේ තිබූ කුඩ ලොරි රථය තුළය. මෙම ඝාතනවලින් පසුව ඔහුට නිවස තුළට යාමේ බියක් ඇති වූ බව ඔහු ‍පොලිසියට පවසා ඇත. පසුව ඔහු වෙළෙඳසලකට ගොස් කිරි පැකට් දෙකක් රැගෙනවිත් එය ද එම දැරියට බොන්නට දී ඇත.

එහෙත් මෙම දැරිය තමා සන්තකයේ තබාගැනීම හා ඇය මුදාහැරීම ගැටලූ‍ සහගත නිසා ඇයට නින්ද ගිය පසු ඔහු ඊට පසුදා එම කුඩා දැරිය නිවසෙහි පිටුපස ඇති පාළු ළිඳකට දමා ඇත. ඉන් අනතුරුව තම ස්වාමියාට අයත් ලොරි රථය ද ගෙන පලාගොස් ඇත. ඔහු පලා යන විට මෙම කාන්තාව සතු රන් මාලයක් සහ ඇයගේ සැමියා සතු රන් බ්‍රේස්ලටයක්ද රැගෙන ගොස් ඇත. රන් මාලය කොළඹදී උකස් කර ඇති අතර බ්‍රේස්ලටය පස්යා‍ලේ දී උකස් කර මුදල් ලබාගෙන ඇත.

මෙම සැකකරුට විරුද්ධව මීට පෙර ස්ත‍්‍රී දුෂණ චෝදනාවකුත් එසේම මොණරාගල ප‍්‍රදේශයේ දී සිදු වූ ඝාතන චෝදනාවක් ද ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. එම ඝාතන සිද්ධියට මොහුට විරුද්ධව වරෙන්තුවක් ද ඇති බව සඳහන් වේ. මොහු එම සිද්ධියෙන් අනතුරුව පන්නලට පැනවිත් ජීවත් වී ඇත්තේ කුකුළු ගොවි‍පොළකය. එම ගොවි‍පොළට ඝාතනයට ලක් වූ හාම්පුතා නිතර ආගිය අයකු බව සඳහන් වේ.

එම හඳුනාගැනීම හේතුවෙන් මොහු නිවසේ මෙහෙකරු ලෙසට පැමිණ ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. එහි දී හාම්පුතාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් ගොඩනගාගෙන ඇත. ඇය සෑම විටම තම ස්වාමියා එළවා දමා තමන් සමග ජීවත් වෙමුදැයි ඔහුගෙන් විමසූ බව සැකකරු ‍පොලිසියට හෙළිකර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

මෙම සිද්ධියෙන් වික‍්‍රමආරච්චිගේ ධර්මසේන පෙරේරා (52) පල්කිඳ කුඹුර ගෙදර විමලාවතී (42) සහ ජලනි කාවින්ද්‍යා (04) යන අය ඝාතනය වූහ.

ගයාන් ගාල්ලගේ/ඉමේෂ් නුවන්ත-කඩවත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *