• Fri. Feb 3rd, 2023

සේයා කොට්ටය රැගෙන මිත්තනිය ළඟට යද්දී අපරාධකරු අතට පත්වෙලාද..?

seya sadamini

කොටදෙණියාව නිවෙසකින් පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට භාර දී තිබේ.ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ එම ප්‍රදේශයට යවන ලදැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍ෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ බරපතළ සැකයට භාජනය වූ මතට ඇබ්බැහි වී ඇතැයි සැක කරන තරුණයකුගෙන් පොලිසිය සහ රහස් පොලිසිය ප්‍රශ්න කොට තිබේ.

සිද්ධිය වූ දිනයේ ඝාතනයට ලක්වූ දැරියගේ පියා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කිසියම් පෞද්ගලික අවශ්‍යතාවකට ගොස් සිටියදී ඔහු එනතුරු මඳක් විවෘත කර තිබූ ‍දොරෙන් නින්දෙන් නැඟිට ගත් දැරිය කොට්ටයක්ද රැගෙන මිත්තනිය ළඟට යද්දී අපරාධකරු අතට පත්වීද යන්න ගැනද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

එම දැරිය නිතරම නින්දෙන් නැඟිට මිත්තනිය ළඟට යන පුරුද්දක් පැවැති බවද පොලිසිය පැවැසීය.ළමයා පැහැරගත් සහාසිකයාට නිවෙසේ සැර බල්ලා හීලෑ වීම පිළිබඳ රහස් පොලිසියට ප්‍රශ්නයක් වී තිබේ.එම දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ ගංජා මතට ඇබ්බැහි වූ කාමාතුර තරුණයන් 4 දෙනකුගෙන් එක් අයකු බවට පොලිසියට සැක මතු වී ඇති අතර ඔවුන් පිළිබඳ මූලික පරීක්ෂණ කටයුතු මෙහෙය වූ උසස් පොලිස් නිලධාරියකු විසින්ද අධීක්ෂණය කොට තිබිණි.

සිද්ධිය වූ දිනයේ රාත්‍රි 10.45ට පමණ මියගිය දැරියගේ මව ඇයව අවසන් වරට දැක ඇති අතර එම අවස්ථාව වන විට අදාළ සැකකටයුතු කාමාතුරයා එම නිවෙස අසල ගැවසී ඇද්ද යන්න ගැන පොලිසියට බරපතළ සැකයක් මතු වී තිබේ. එම සැකයට තුඩු දී ඇත්තේ මියගිය දැරියගේ මව අවසන් වරට ඇය දැකීමෙන් පසු දැරිය කාමාතුර පුද්ගලයා අතට පත්වී රාත්‍රි 11.30 වන විට මියගොස් ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වීම නිසා බව පොලිසිය පැවැසීය.

එම කාමාතුර පුද්ගලයා දැරියව හොඳින් හඳුනන අයකු විය හැකි බවටද පොලිසිය විශ්වාස කරයි. එසේ නම් එම සැකකරු දැරියගේ නිවෙසට ආගිය පුද්ගලයෙක්ද යන්න ගැන ඊයේ එම ප්‍රදේශයට ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමේ අවධානයට යොමුවී තිබේ.
මේ දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය එහි යැවීමට පෙර පරීක්ෂණ පැවැත්වූ කොටදෙණියාව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමේ පරීක්ෂණ වාර්තා රහස් පොලිසිය විසින් අධ්‍යයනය කරගෙන යන බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කෙළේය.

ප්‍රේමලාල් විජේරත්න

One thought on “සේයා කොට්ටය රැගෙන මිත්තනිය ළඟට යද්දී අපරාධකරු අතට පත්වෙලාද..?”
  1. අ‍නේ තිරිසන් මිනිහට නිසි දඩුවම දෙන්න රටේ ජනතාවට බාර දෙන්න ඔයෙ තිරිසනාව..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *