• Sat. Jan 28th, 2023

මානව හිමිකම් රකින්න නව රජය කළ කැපවීම් අගය කරනවා.

human

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් ආණ්ඩුව සිදුකර තිබෙන කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂෙයිද් රාද් අල් හුසේන් කුමරු අවධාරණය කරයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 30 වැනි සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමින් මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කරා.

පසුගිය සමයේ සිදුව තිබෙන දුර්වලතාවන් මඟහරවා ගනිමින් ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බවද ෂෙයිද් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශකර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබෙන්නේ පසුගිය සමයේ සිදුවූ සිද්ධීන්ගෙන් බැහැරට ගොස් යහපත් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රජය පියවර ගනු ඇති බවයි. එවැනි සිදුවීම් යළිත් වරක් සිදුනොවීම සඳහා අදාළ ආයතනයන්හි වෙනස්කම් සිදුකරනු ඇතැයි ජගත් මානව හිමිකම් කවුන්සලය අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේ යැයි ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රකාශ කරයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මඟින් ආවරණය වන කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් හා සම්බන්ධ අපරාධ චෝදනා බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් සහ සත්‍ය කරුණු තහවුරු කිරීම සඳහා පියවර ගන්නා මෙන් මහ කොමසාරිස්වරයා ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා නිව්යෝර්ක්, ජිනීවා සහ බැංකොක් නගරවල සිට ලබාගත් සාක්ෂි හා තොරතුරු ඇසුරෙන් සකස් කොට තිබෙන අතර ඒ වෙනුවෙන් පුද්ගලයින් 6,000ක ගෙන් පමණ සාක්ෂි ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ගොඩනඟා ඇති නව දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මස එළිදැක්වීමට නියමිතව තිබුණු මේ වාර්තාව එළිදැක්වීම මාස හයකින් කල්දැමීමට තීරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ඉකුත් වසරේ මාර්තු මාසයේ පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී සම්මත කරගත්තේය. ඒ අනුව අදාල පරික්‍ෂණය සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ කමිටුවක් පත්කර ගැණිනි.

එම කමිටුවේ ප්‍රධානියා ලෙස ෆින්ලන්තයේ හිටපු ජනාධිපතිවරයෙකු වන මාටි අටිසාරි පත් කෙරිණි. අදාළ වාර්තාව එලිදැක්වීම කල්දැමීම තුළින් ඊට තවදුරටත් කරුණු ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සම්බන්ධයෙන් සාධාරණ පරික්‍ෂණයක් පවත්වන බවට සහතික වීම මෙම තීරණයට බලපෑ තවත් සාධකයක් වු බවද හෙතෙම පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *