• Sat. Jan 28th, 2023

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ කටයුතු යළි අරඹමු

20th amendement

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, හත්වන පාර්ළිමේන්තුව විසුරුවා හරින්නට ප්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිනි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ.

මැතිවරණ ක්‍රමය සපුරා වෙනස්කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක්‍රමය වෙනස්කිරීම සහ සෑම මැතිවරණ කොට්ඨාශයකටම අනිවාර්යයෙන්ම එක් මන්ත්‍රීවරයකු හෝ සිටින බවට සහතික වීමයි. මෙම මැතිවරණ සංශෝධනයේදී කේවල ආසන ක්‍රමය සහ පරාජිත අපේක්ෂකයින් ගේ සමානුපාත ඡන්දයේ සංකලනයක් භාවිතාවේ. මේ යෝජනාව මගින් පාර්ළිමේන්තුවේ සංයුතිය වෙනස් නොවන බැවින් පාර්ළිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ එකඟ කරගැනීමට මා හට හැකිවනු ඇත. තවද මෙහිදී අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර එක් මැතිවරණ කොට්ඨාශයකට පමණක් සීමා වන බැවින් නාස්තිය හා ගැටුම් අවම කිරීමට හැකිවේ.

ජනාධිපති තුමා ලබාගත් ජන වරම මැතිවරණ ක්‍රමය සංශෝධනයට හොඳටම ප්‍රමාණවත්ය. ඊට අමතරව පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශනයෙන් එම වරම තවදුරටත් ශක්තිමත් කර තිබිනි.

මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරනු ලබන අතර සමානුපාත නියෝජනය සහ මැතිවරණ කොට්ඨාශ ක්‍රමය සංයෝග කරන ලද මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කරනු ලැබේ.

එම මැතිවරණ ප්‍රකාශනයේ තවත් තැනක මැතිවරණයට කරනු ලබන වියදම් පාලනය කිරීමට ද ප්‍රතිඥාවක් ලබා දී ඇත.

නමුත් මෙම ප්‍රතිඥා කඩදාසියට සීමා වීමට ඉඩ ඇත.

වර්තමාන සදොස් මැතිවරණ ක්‍රමය යටතේ පාර්ළිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයින් තමන්ට වාසිදායකවූ එම ක්‍රමය වෙනස් කරන්නට විරුද්ධ විය හැක. නොබෝදා නිමාවූ මහ මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසය තුල පවත්වන ලද මැතිවරණ අතරින් වඩාත්ම ප්‍රශස්ත සහ නීතියට ගරු කරමින් පැවැත්වූ මැතිවරණය වීම හේතුවෙන් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම පිණිස මහා ජනතාවගේ උනන්දුව අඩුවිය හැක.

එහෙත්, මැතිවරණ කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්ද, මෙම මැතිවරණ සමයේදී නීතිය ක්‍රියාවට නැගීමේ හැකියාව ඇතිකල සාධක සංයුතිය ඉදිරි කාලයේ පැවැත්වෙන මැතිවරණයක දී නොපැවතීමට ඉඩ තිබේ. රාජ්‍ය සේවකයින් බියෙන් සහ පක්ෂපාතීත්වයෙන් තොරව සිය කටයුතු කරගෙන යාම ඉදිරියටත් පවතිනු ඇතැයි අප බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා ඔවුන්ට ව්‍යවස්ථාවෙන් ද කිසියම් සහායක් ලැබෙන්නේ නම් වඩාත් පලදායී වනු ඇත.

 

සංශෝධනයේ ස්වරූපය

අගෝස්තු 24 වැනිදා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතේ පලකල සම්මුඛ සාකච්චාවක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ සංශෝධනය පිළිබඳව මෙසේ පවසා ඇත:

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනය සඳහා මාස 12ක් අවශ්‍ය වනු ඇතැයි තක්සේරු කරයි. අපි හිතන්නේ මේ කටයුත්ත මාස 6කින් අහවර කල හැකි බවයි. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නව මැතිවරණ ක්‍රමයයි. එය සම්මිශ්‍ර සමානුපාතික ක්‍රමයක් විය යුතු බව අපි කවුරුත් එකඟයි. නමුත් කේවල ක්‍රමයෙන් පත්වන සංඛ්‍යාව සහ ලැයිස්තුවෙන් එන සංඛ්‍යාව අතර අනුපාතය පිලිබඳ තවම එකඟතාවයක් නැහැ. ජනාධිපති ධුරය ගැනත් ප්‍රශ්නයක් තිබෙනවා. සමහර පුරවැසි කණ්ඩායම් විධායක ජනාධ්පති පදවිය අහෝසි කරන්නැයි ඉල්ලනවා. නමුත් ශ්‍රීලනිපය ඊට විරුද්ධයි. ඉතින් අපි කීවේ සමස්තයම බලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරමු කියලයි. පාර්ලිමේන්තුව බලාත්මක කරන පමණට විධායක ජනාධිපති පදවියේ බලතල හීන වෙනවා. බොහෝ දෙනෙකු සුදු අලින්ගේ තත්වයට දමා තිබෙන පළාත් සභා සක්‍රීය කිරීමට අප උත්සාහ කල යුතුයි. ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අංගයන් වන්නේ ඉහත කී කරුණුයි.”

2015 වර්ෂයේ කල සාකච්චා මත පදනම්ව සම්මිශ්‍ර සමානුපාතික ක්‍රමයක් පිලිබඳ මුලික එකඟතාවයක් ඇති බව පැහැදිලිව තිබියදී, වෙන විකල්පයන් ගැන කතා කිරීම එතරම් පලදායී කටයුත්තක් නොවේ.

දැඩි අප්‍රසාදයට පාත්‍ර වී ඇති මනාප ඡන්ද භාවිතකිරීම වෙනුවට වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්නට උත්සාහ කිරීමේදී දෙආකාර වූ අභියෝගයන් මතුවනු ඇත. එනම්, ඉදිරිපත් කරන අලුත් ක්‍රමය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේදී දරන්නට සිදුවන පිරිවැය අඩුකරන්නට සහ නීතියට අවනතව කටයුතු කරන්නට ( විශේෂයෙන්ම වැය කරනු ලබන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන්) අපේක්ෂකයන් මත පීඩනයක් ඇතිකරන්නට එම ක්‍රමය සමත්වේ ද යන්න මෙම අභියෝග ද්වයයි.

මනාප ඡන්ද ක්‍රමය අහෝසිකිරීම හරහා විසඳන්නට අප අපේක්ෂා කරන ප්‍රධානතම ප්‍රශ්න මේවාය. මෙම ප්‍රශ්නවලට සාර්ථක විසඳුමක් ඉදිරිපත් නොකරන විසඳුමක් ප්‍රතික්ෂේප කළයුතුය.

උදාහරණයක් වශයෙන්, එක්සත් ජාතික පක්ෂ භාණ්ඩාගාරික, පා. මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කොටස් ඉදිරිපත් කරන ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය සලකා බලමු. භූගෝලීය වශයෙන් විසිරුනු වාර්ගික (උදා. මුස්ලිම් කොංග‍්‍රසය) හෝ සමාන මතවාදී (උදා. ජවිපෙ) පදනමක් ඇති පක්ෂවලට දෙවෙනි ඡන්දයක් හරහා දිස්ත්‍රික්කය පුරා ඡන්ද එකතුකර මන්ත්‍රීවරුන් තෝරාගැනීමට ඉඩ ලබා දුනහොත් ඔවුන් අද මෙන්ම සමස්ත මැතිවරණ දිස්ත්‍රික්කය පුරාවටම සිය ප්‍රචාරක කටයුතු ගෙන යනු ඇත. කේවල මන්ත්‍රී ක්‍රමය යටතේ ආසන ජයග්‍රහණය කිරීමට සමත් පක්ෂද ˝සුළුතර නොවන˝ ඡන්ද එකතු කරමින් දිස්ත්‍රික්කය පුරාම දුව ඇවිදිනු ඇත. මෙහිදී අධි-ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් අප සිදුකරනු ඇත්තේ විසඳන්නට උත්සාහ කරන ගැටළුව ප්‍රතිනිර්මාණය කිරීමකි.

කේවල ක්‍රමයෙන් පිට දෙවෙනි ඡන්දයෙන් පත්කෙරෙන මන්ත්‍රීවරුන් අද මෙන්ම විරුද්ධ අපේක්ෂකයන් ඉදිරිපත්කරන ඡන්ද පෙත්සම් වලින් ආරක්ෂා වෙනු ඇත. ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය මෙනිසා ඉහත දක්වන ලද නිර්ණායකයන් දෙකටම අනුකූල නැත.

ද අයිලන්ඩ් පුවත් පතේ, 2015 ජුනි 27 වන දා පළකරන ලද සාකච්ඡාවක දී, මැතිවරණයට වැය කරන මුදල් මෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩත්වය ද හුදෙක් නීතිය හා සාමයට අදාල ගැටළු බව පවසන වික්‍රමරත්න මහතා මෙම කරුණු මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාලවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි. ව්‍යාපාර සහ ආර්ථික විද්‍යා අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයකු විසින් මෙවැනි පැනයක් නැගීම මවිතය දනවන්නකි. නීතිය ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට සහ පොලිසියට කියා සිටීමෙන් තමන් නිවැරදි දේ කළේය යන පහන් හැඟීම කෙනෙකුට ඇතිවන්නට ඉඩ ඇතත් ඉහත කී ගැටළුවලට පදනම්වී ඇති දිරිගැන්වීම් ඉවත් කරනු නොලබන්නේ නම් ප්‍රශ්නය .

නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතා කරන විට, එක්සත් ජනපදය තුල තරඟකාරීත්වයට එරෙහි හෙවත් අසාධාරණ වෙළඳ ව්‍යවහාරයන් සම්බන්ධව නීති ක්‍රියාත්මක වන ආකාරයට එය සිදුවනු දකින්නට මා තුල කැමැත්තක් ඇත. එක්සත් ජනපදයේ, අසාධාරණ වෙළඳ ව්‍යවහාරයන් සිදුකරන කෙනෙකුට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහැකි ආකාර දෙකකි. පළමුවැන්න, රජය විසින් චූදිතයා අධිකරණය ඉදිරියට පමුණුවනු ලබයි. මේ ආකාරයේ නඩු, විශාල වශයෙන් වියදම් දැරිය යුතු සහ සංකීර්ණ නීති කටයුතු වන අතර නඩුව අවසාන වන තෙක්ම ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් ගේ කැපවීම ඒකාකාරව පවතින්නේ ද යන්න සැක සහිතය. ඔබ අගතියට පත් වූ පාර්ශවයක් නම් ඔබේ ඉරණම රජයේ නිලධාරීන්ගේ උනන්දුව සහ කැපවීම මත පමණක් රඳවා තබා බලා සිටින්නට ඔබ කැමති නොවනු ඇත. මෙහිදී ඔබට දෙවන මාවතක් ද විවෘතව තිබේ.

මෙහිදී, අගතියට පත්ව ඇති ව්‍යාපාරිකයාට තමා විසින් සාක්ෂි එක්රැස් කර, විශේෂඥයින් කැඳවා, තරඟකාරිත්වයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකව නඩුවක් පැවරීමේ අවස්ථාව ඇත. මෙය වඩාත් දුෂ්කර වූත් වැඩි මුදලක් වැයවන්නාවූත් ක්‍රමයක් වුව ද සාර්ථක වුවහොත් තෙගුණයක වන්දියක් ලැබේ. 1970 ගණන්වලදී  එක්සත් ජනපදයේ MCI විදුලි සංදේශ සමාගම විසින් එරට ක්‍රියාත්මක වන තවත් විදුලි සංදේශ සමාගමක් වන AT&T සමාගමට එරෙහිව මේ ආකාරයෙන් පවරන ලද නඩු කෙතරම් සාර්ථක වී ද යත් එක් අවස්ථාවකදී AT&T සමාගමෙන් ලැබුනු වන්දි මුදල් MCI සමාගම විදුලි සංදේශ කටයුතු වලින් උපයාගන්නා ලද ආදායමටත් වඩා විශාල විය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති පිළිපැදීම 1978 ට පෙර කාලයේ දී සිදුවූයේ ද මේ ආකාරයෙනි. සාක්ෂි එකතු කර අසාධාරණව කටයුතු කරන ලද්දේ යැයි ඔවුන් විශ්වාස කරන ජයග්‍රාහී අපේක්ෂකයින්ට එරෙහිව ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීමට පරාජිත, අගතියට පත් අපේක්ෂකයින්ට දිරිගැන්වීමක් තිබින. නිදහසින් පසුව තේරී පත්වූ ප්‍රථම පාර්ළිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මේ ආකාරයෙන් සිය මන්ත්‍රීධූර අහිමි විය. සමානුපාත ඡන්ද ක්‍රමය යටතේ දී ඡන්ද පෙත්සමක් පැවරීමට කිසිදු දිරිගැන්වීමක් පරාජිත අපේක්ෂකයාට නැත (කොන්දේසිවලට යටත් කේවල මැතිවරණයක් වන ජනාධිපතිවරණයේ දී හැර).

කේවල ක්‍රමය නැවත හඳුන්වා දීමේ සහ පරාජිත අපේක්ෂකයින් කිහිප දෙනෙක් ද අතිරේක මන්ත්‍රීවරුන් වශයෙන් පත්කිරීමේ වටිනාකම පවතින්නේ එමගින් ඡන්ද පෙත්සම් යන කරුණට මග පෑදෙන හෙයිනි. ඡන්ද පෙත්සම් ඉදිරිපත් කරනු නොලැබුවත් එවැන්නක් සිදුවීමේ අවදානමක් පවතින්නේය යන්න අපේක්ෂකයින්ට හොඳ හැසිරීමකින් යුතුව මැතිවරණ ව්‍යාපාරය ගෙනයෑමට හේතුවනු ඇත.

දැන් අප කළයුත්තේ ප්‍රතිපලය ඉලක්කය සේ ගෙන ඇදෙමින් ගිය දින සියය තුල අත්කරගත් ප්‍රගතිය මත ගොඩනගමින් ඉදිරියට ගමන් කිරීමයි. ද්විත්ව ඡන්ද සහ වෙනත් කරුණුවලින් අවධානය වෙනතක යොමුකරවා නොගනිමින් අප විසඳන්නට අපේක්ෂා කරන ප්‍රශ්නය ගැන පමණක් සැලකිලිමත්ව පසුවීමට වගබලා ගනිමු.

 

– මහාචාර්ය රොහාන් සමරජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *