ඉකුත් රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් වත්මන් රජය ගෙන යන පරීක්ෂණ සමහරක් අකර්මන්‍ය වී ඇති බවත් ඉන් පැහැදිලි වන්නේ මෙගාඩීල් සංස්කෘතියක් නැවත ඇතිවීම බවත් දූෂණ චෝදනාලත් හිටපු ඇමතිවරුන්ට යළි තනතුරු ලැබීම එහි ප්‍රතිඵලයක් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී පවසනු ලැබුවා.
එය ජනවාරී 8 වැනිදා ජනතාව ලබාදුන් ජනවරමට පිටුපෑමක් බවත් පරීක්ෂණ යටනොගැසිය යුතු බවත්, දිවිනැඟුම, සිල් රෙදි බෙදීම වැනි පරීක්ෂණ කල්මැරීම නොකළ යුතු බවත් නිලධාරීන් නියෝග ලැබෙන තුරු බලා සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා දූෂණ ගැන තම සංවිධානය රහස් පොලීසියට පැමිණිලි හතරක් ද අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසමට පැමිණිලි පණහක්ද දූෂණ මර්දන කමිටු ලේකමි කාර්යාලයට පැමිණිලි 73ක් බාරදී ඇති නමුත් එම පැමිණිවලට සාධාරණයක් නොවන්නේ නම් සාක්ෂි සමග ජනතාව අතරට ඒවා ගෙනයන බවද ඒ මහතා පැවසීය. මෙම පැමිණිලිවල ප්‍රගතිය පිළිබද ව පොලිස්පතිවරයාගෙන් ලිඛිතව විමසන බවද ඔහු සඳහන් කළේය.
දූෂණයට එරෙහි වීම තේමා කරගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාස 9 ත් ගතවී ඇතත් මේ වන තුරු එකම දේශපාලකයකුට හෝ එකම නඩුවක් හෝ පවරා නැතැයිද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.