• Mon. Jan 30th, 2023

මේ ආණ්ඩුවයි, නීතිපතියි ඇවන්ගාර්ඩ් රකින්නේ කොපමණ කොමිස් මුදලකටද..?

ape rata sampleg

ඇවන්ගාර්ඩ් නඩු විභාගය හකුලා දැමීම සදහා නීතිපතිවරයා හා මේ ආණ්ඩුවට කටයුතු කරනු ලැබූවේ කුමන හේතු සාධකයන් මතද යන්න හා අති විශාල ධනයක් බදුවශයෙන් රජයට ගෙවීමට අදාළ සමාගමට තිබියදී කිසිදු නීතිමය විමසා බැලීමක් නොමැතිව අදාළ නඩුව ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව වග කිව යුතු බව ජවිපෙ නායක අනුර දිසානායක (22)පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරුණු ලැබීය ඒ 23/2 ස්ථාවර නියෝග යටතේ නගනු ලැබූ ප්‍රශ්නයකදීය.
පහත දැක්වෙන්නේ එම ප්‍රශ්නයයි.

නීතිය, පුද්ගල තරාතිරම, පුද්ගලයා සතු දේශපාලන බලය, නිලබලය හෝ මුදල් බලය මත ක්‍රියාත්මක වන්නේ නම්, එයින් වඩාත්ම පීඩාවට පත් වන්නේ මේ රටේ සාතිශය බහුතරයක් වූ, දුප්පත් පීඩිත ජනතාවයි. මේ රටේ පොලීසියත්, බන්ධනාගාරයත්, අධිකරණයත් තම අණසකට යටත් කරන්නේ දුප්පත් ජනතාව පමණක් බවත් මුදල් බලය හා දේශපාලන බලය ඇත්තන්ට නීතිය යටපත් වන අයුරු ඇවන්ගාර්ඩ් සමාගම සම්බන්ධ නීතිපති වාර්තාව සනාත කරනවා.

2012.10.20 පෙර මුහුදු ආරක්ෂක සේවාව පවත්වා ගෙන යනු ලැබුවේ නාවික හමුදාව වූ අතර පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස බලපෑම් කළ හැකි මුහුදු ආරක්ෂක සේවාවේ පුර්ණ වගකීම ඇවන්ගාර්ඩ් සමාගම වෙත පවරා දෙනු ලබනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 – ආ වගන්තිය යටතේ රටේ ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා විසින්. එහෙත් එවැනි තීරණයක් ගැන දැන ගන්න නැහැ.

1. මෙවැනි ජාතික ආරක්ෂාවට බලපාන තීරණ ගැනීමට ආරක්ෂක ලේකම්වරයාට බලය තිබේද? එසේ බලය නොමැත්තේ නම් ඔහුට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?

නයිජීරියා තානාපති වශයෙන් සේවය කළ ඒ.එස්.පී.ලියනගේ මහතා ලංකාව වෙනුවෙන් ඇවන්ගාර්ඩ් හා නයිජීරියා සමාගම් අතර ඇති කර ගත් ගිවිසුමට මැදිහත්කරුවෙකු ලෙස අත්සන් තබනවා.

2. ඒ සඳහා ඔහුට බලය පවරා ඇත්තේ කවරෙකු විසින්ද?

ඇවන්ගාර්ඩ් ජාත්‍යන්තර ආරක්ෂක සමාගම් සමඟ ඇති කර ගත් ගිවිසුම් අනුව පාවෙන අවි ගබඩාවක් ලංකා මුහුදු සීමාවේ පවත්වා ගෙන යාමේ හැකියාව ලැබෙන්නේ නැහැ. සියලු අවි ගබඩා පවත්වා ගෙන යා යුත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාව තුළයි. ඒ වගේම භාවිතා කරන සෑම ගිනි අවියක් සඳහා End User Certificate එක තිබිය යුතු බව දක්වා තිබෙනවා. ඒ අනුව සෑම ගිනි අවියක්ම ඒ ඒ රටවල ලියාපදිංචි බලපත්‍ර සහිත ඒවා විය යුතු වෙනවා.

3. ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවත්වාගෙන යා යුතු පාවෙන අවි ගබඩාව ගාලු වරායේ ස්ථාන ගත කිරීමට අවසර දුන්නේ කවර බලධරයෙකු විසින්ද? සෑම අවියක් සඳහාම නිත්‍යානුකූල බලපත්‍ර තිබේද? එසේම ගාලු වරාය තුළ පවත්වා ගෙන යන මෙම පාවෙන ආයුධ ගබඩාව පිළිබඳ ශ්‍රී ලංකා පොලීසිය දැනුවත්ව සිටියාද?

2015.01.18 දින ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිතුමාට ලද තොරතුරක් අනුව ගාල්ල වරාය තුළ ගාල් කර ඇති මහනුවර නමැති නෞකාවේ අවි ආයුධ ඇති බවත්, ඒවා ඉවත් කිරීමේ කාර්යයක නිරතව සිටින බවට ලද තොරතුරු අනුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තා කරමින් ගාල්ල පොලීසිය විසින් ඉදිරි පරීක්ෂණ සඳහා අවසර ඉල්ලනවා.

(උපුටා ගැනීම)

“මෙම පරීක්ෂණ වලදී මෙම මහනුවර නමැති නැව පාවෙන අවි ගබඩාවක් ලෙසට පවත්වා ගෙන යන බවත් අඩි 20 x 20 ප්‍රමාණයේ කන්ටේනර් 22 කින් යුත් මෙම නැවේ කන්ටේනර් 20 කම අවි සහ උණ්ඩ තැන්පත් කර තිබෙන බවත් ඒවා විදේශීය මුහුදු ආරක්ෂකයින් විසින් මෙම දේශයට පැමිණෙන අවස්ථාවලදී අවි ගබඩා කිරීම සඳහා භාවිතා කරන ඒවා බවටත් අනාවරණය විය. මෙම ක්‍රියාදාමය ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සේවාව මගින් සිදු කරන බවත් අනාවරණය වූ අතර එය 2012 සැප්තැම්බර් 18 වන දින සිට ඇවන්ගාඩ් ආයතනයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන අතර, ඊට ප්‍රථම මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉටු කරන ලද බව අනාවරණය විය. මෙසේ පුද්ගලික ආරක්ෂක සේවාවක් මගින් එම ක්‍රියාදාමය ඉටු කිරීම තුළින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ අවධානමක් ඇති බවට කරුණු අනාවරණය වේ. මෙම අවි සහ උණ්ඩ කුමක් හෝ අපරාධයකට සම්බන්ධ කර ගැනීමෙන් පසුව එම ස්ථානයට ගෙනවිත් නැවත ගබඩා කරන්නේද යන්න ගැටළු සහගත තත්වයකි. එසේම රටේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවට පරිබාහිරව අවි විශාල ප්‍රමාණයක් භාවිතා කරන නීති විරෝධී කණ්ඩායම් රට තුළ සැරිසරන්නේද යන්න පිළිබඳව විමර්ශනය කරමි. තවද විමර්ශනයේදී අනාවරණය වුයේ ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනය මගින් ශ්‍රී ලංකා දක්ෂිණ නෞකා කඳවුරේ කන්ටේනර් 02 ක අවි සහ උණ්ඩ ගබඩා කර ඇති බවයි. ඒ සම්බන්ධව දකුණු පළාත් නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.ඊ.සී ජයකොඩි මහතාගේ ප්‍රකාශය අනුව වැඩි දුරටත් තහවුරු වුයේ එම කන්ටේනර් 02 ට අමතරව රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක ආයතනය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ මුලයේ සේවා වනිතා ඒකකයේ ගොඩනැගිල්ලේ කාමර 03 කින් යුත් විශාල අවි ගබඩාවක් පවත්වා ගෙන යන බවත්ය. එය රක්නා ලංකා ආරක්ෂක සේවයේ ආරක්ෂක රාජකාරි සඳහා අවි නිකුත් කරන බවත්, එය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනයකින් තොරව එම පුද්ගලික ආරක්ෂක සාමාගම මගින් පාලනය වන්නක් බවයි.” “මෙසේ විශාල අවි ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ පොලිසියේ හෝ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණයකින් තොරව පුද්ගලික ආරක්ෂක සේවයක් තුළ භාවිතා කිරීම හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවේද යන්න පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යමි. එසේම මෙම අවි ශ්‍රී ලංකා රජය මගින් ඇණවුම් කළ අවිද? එසේ ඇණවුම් කිරීමට ඇති නිත්‍යානුකූල බලය කවරේද යන්න පිළිබඳ විමර්ශනය සිදු කරමි.”

(උපුටා ගැනීම අවසන්)

පසුව ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණා. ඇවන්ගාඩ් සමාගම සතුව ස්වයංක්‍රිය ගිනි අවි 3154 ක් සහ ඒ සඳහා භාවිතා කරන උණ්ඩ 7,70,059 ක් ගාලු වරායේ තිබූ මහනුවර නැවේ කන්ටේනර් 07ක ගබඩා කර ඇති බව අනාවරනය වුණා. ශ්‍රී ලංකාව ඇතුලත භාවිතා කරන අවි ආයුධ නිත්‍යානුකූල වීමට නම් ඒ සඳහා ගිනි අවි පාලකගේ අවසර පතක් එක් එක් අවිය සඳහා නිකුත් කර තිබිය යුතුයි. ශ්‍රී ලංකා පොලීසිය හෝ ත්‍රිවිධ හමුදව සතු අවි ආයුධ නිශ්චිතව ඔවුන්ගේ ඉන්වෙන්ට්‍රිවල ඇතුලත් වෙනවා. ඊට පරිබාහිරව කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගිනි අවි ආඥා පනතට පරිබාහිරව ගිනි අවි භාවිතා කිරීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඒ අනුව මෙම සියලුම ගිනි අවි නීති විරෝධී ගිනි අවි වෙනවා. ගිවිසුම් අනුව මෙම ගිනි අවි සඳහා End User Certificate එක පවා නැහැ.

4. එක් එක් ගිනි අවි සඳහා නිත්‍යානුකූල ලේඛන මොනවාද? එම අවි අධීක්ෂණය කරන්නේ කවුරුන්ද?
මම මෙම සභාවට යෝජනා කර සිටිනවා මේ සියලු අවි ආයුධ නීති විරෝධී ආයුධයි. මේවා විවිධ ජාවාරම් සඳහා යොදා ගෙන තිබෙනවා. අවි ජාවාරම් පිළිබඳව තොරතුරු සී මාර්ෂල් වරයෙකු වශයෙන් සේවය කළ කපිතාන් යු.එස්.කේ දිසානායක මහතා ලබා දුන් පැමිණිල්ලක සඳහන් වෙනවා. මෙම ආයුධ රට තුළ හෝ පිටත විවිධ අපරාධ ක්‍රියාකාරකම් සඳහා යොදා නොගත් බවට ලබා දෙන සහතිකය කුමක්ද? පාවෙන අවි ගබඩාවේ ඇති ආයුධ අතරින් සී මාෂල් වරුන් වෙත නිකුත් කරන ආයුධ සඳහා ඹූකින්ග් ණොටෙ මගින් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු වෙනවා.

5. ආරක්ෂක අමාත්‍යාංශයෙන් එවැනි අනුමැතියක් ලබා ගෙන තිබෙනවාද? එසේ අනුමැතිය ලබා ගත් ආයුධ ප්‍රමාණය කොපමණද? ඒ කවර රටවල ආයුධ සඳහාද? මේ දක්වා සී මාෂල් වරුන් වෙත නිකුත් නොකළ අවි වර්ග සහ සංඛ්‍යාව කොපමණද?

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විමර්ශන ප්‍රගති සමාලෝචනයකදී ආණ්ඩුවේ ප්‍රබලයින් දෙදෙනෙක් ඒ වන විට අධිකරණ භාරයට ගෙන තිබූ ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීමට නිර්දේශ කරන ලෙස තමන්ට දන්වා සිටි බව සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා කියා සිටියා. එසේම ඔහු ජනාධිපති හමුවී ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නදැයි විමසා සිටි බව අනාවරණය වුණා. එහෙත් ඊළඟ සතියේදී පැවති විමර්ශන ප්‍රගතිය පිළිබඳ රැස්වීමකදී සුහද ගම්ලත් මහතාම ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ චෝදනා නැති බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා හමුවී කරන ලද විමසීම සම්බන්ධයෙන් ඔහුගෙන් කරන ලද විමසීමේදී ජනාධිපතිවරයාගෙන් එවැනි විමසීමක් කළ බව ඔහු විසින් පිළිගත්තා. නමුත් මේ පිළිබඳව අදාළ ලිපිගොනුව භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 25 කට අධික පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතිරේක සොලිස්ටර් ජනරාල් නවරත්න බණ්ඩාර මහතා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පනත් 03 ක් යටතේ අපරාධ චෝදනා ගොනු කොට නඩු පැවරිය හැකි බව පෙන්වා දුන්නා. ඒ අවස්ථාවේදී මංගල සමරවීර ඇමතිවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීම සුදුසු නොවන බැවින් අනෙකුත් පනත් යටතේ නඩු පවරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා විසින් නීතිපති වෙත ඉදිරිපත් කරන වාර්තාව මා සතුව තියනවා. එම වාර්තාව අනුවත් අදාළ ප්‍රගති සමාලෝචනයේදී සඳහන් කළ පරිදිත් ගිනි අවි ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යන පනත් යටතේ නඩු පැවරිය හැකියි.

තවත් එක් අවස්ථාවකදී දින 100 ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් බස්නායක මහතා විමර්ශන කෙරීගෙන අතරේදී ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් තහනම ඉවත් කරන්නයැයි මහේස්ත්‍රාත්වරයාට ලිපියක් ඉදිරිපත් කරනවා. ආරක්ෂක ලේකම්වරයාගේ කාර්යය භාරය ඒකද? පුදුම සහගත කරුණ වන්නේ ඔහු එම ලිපිය ඉදිරිපත් කරන්නේ රජයේ නිවාඩු දිනකදී වීමයි.

6. ආරක්ෂක ලේකම් ධුරය දැරූ බස්නායක මහතා තමාගේ තනතුරට නැති බලයක් ආරෝපණය කරමින් අධිකරණයට බලපෑම් කිරීම සාමාන්‍යයෙන් කළ හැක්කක්ද? ඒ අයුරින් කටයුතු කළ ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවාද?

නීතිපතිවරයා රජයේ නීතීඥවරයායි. ඔහු වැටුප් ලබන්නේ රජයෙනුයි. එම නීතිපතිවරයා අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි අධිකරණයට ප්‍රකාශයක් කළා. මේ රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන, වැටුප් ලබන මේ රටේ නීතිපතිවරයා දැන ගන්න ඕනේ තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විමර්ශනය කරලා ස්වාධීනව ඉදිරිපත් කරන චෝදනා අධිකරණයට ගොනු කරන්න. මාස ගණනක් පොලීසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ අවංක නිලධාරින් කැපවීමෙන් ගොනු කරන චෝදනා ඔහු එක පෑන් පහරින් නිෂේධනය කරන්නේ කොහොමද? නීතිවිරෝධී අවිවලට නිත්‍යානුකූල අවි කියලා කියන්න ඔහුට පුළුවන්ද?. අපි නීතිපතිවරයාට කියනවා තමා තමාගේ තනතුරේ බලය අවභාවිතා කරන්න එපා කියලා. ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. ඔහු මෙම සභාව ඉදිරියට ගේන්න ඕනේ. ඔහු මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර සපයන්න ඕනේ. ඔහු මේ ගරු සභාවට කියන්න ඕනේ සල්ලි තියන දේශපාලන බලය තියන අයට එල්ලවන චෝදනා පමණක් යටපත් වෙන්නේ කොහොමද කියලා. පසු ගිය රජයේ දුෂිතයන්ට එරෙහි ලිපිගොනු ඔහුගේ මේසේ උඩ තියාගෙන ඉන්නවා. අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ නීතිපතිවරයාගේ තීරණ නොවේ. මේවා පිටුපස ඉන්නේ මේ හවුල් ආණ්ඩුවේ ඉහළම පුද්ගලයෝ.

7. මා අගමැතිවරයාගෙන් අහන්න කැමතියි ගාලු වරායේ පාවෙන අවි ගබඩාව පිළිබඳව ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා.

2015.05.14 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිව්වා තමන්ට ඇවන්ගාඩ් සමාගමෙන් චෝදනා යටපත් කර ගන්න මාසිකව රුපියල් මිලියන 20 බැගින් අල්ලස් දෙන්න උත්සහ කළා කියලා. වැරදි නැත්නම් මෙහෙම අල්ලස් දෙන්න උත්සහ කරන්නේ කවුද? රජයට කෝටි ගණනක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිව තිබු මුහුදු ආරක්ෂක සේවාව යටි අරමුණකින් අයුතු ලෙස රක්නා ලංකා සමාගම හරහා ඇවන්ගාඩ් සමාගමට ලබා දීමේ සිට පාවෙන අවි ගබඩාව ගාල්ල වරායේ ස්ථාන ගත කර පවත්වා ගෙන යාම යන සිද්ධීන් සියල්ල ගත් විට හිටපු ආරක්ෂක ලේකම්වරයාටත්, ඇවන්ගාඩ් සමාගමටත්, ඒ සඳහා මැදිහත් වූ සියලු දෙනාටත් විරුද්ධව නඩු පැවරිය හැකියි. 8. මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ මැදිහත්වීම හා දැඩි බලපෑම් හේතුවෙන් නීතිපතිවරයා විසින් යටපත් කළ ඇවන්ගාඩ් සම්බන්ධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නැවත ස්වාධින විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නවාද?

දේශීය මුහුදු ආරක්ෂකයින් පුහුණු කිරීමේ ආයතනයක් පිහිටුවීමට ඇවන්ගාඩ් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යංශයේ 2013.04.17 දිනැතිව අවසර ඉල්ලා තිබු අතර එහි අනුමැතිය කිසිදු විමර්ශනයකින් තොරව දින 10 ඇතුලත ලබා දෙනවා. අවි ආයුධ පුහුණු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට පමණක් හිමි බලය කඩිමුඩියේ පුද්ගලික සමාගමක් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. 9. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ඇති බලය ඇවන්ගාඩ් වෙත පවරන ලද්දේ කවර නීතියක් යටතේ කවර බලධාරියෙකු විසින්ද? මේ යටතේ පුහුණු ලැබුවන් සංඛ්‍යාව කොපමණද? සහ ඔවුන් කවුද? විදේශිකයන්ට ආයුධ පුහුණුව ලබා දීමට දී ඇති බලය කුමක්ද?

ඇවන්ගාඩ් සමාගමේ පසුගිය අවුරුදු 02 ගිණුම් වාර්තා අනුව තෑගි සහ පරිත්‍යාග වශයෙන් රුපියල් මිලියන 853ක්ද, සභාපතිවරයාගේ වියදම් වශයෙන් මිලියන 1294ක්ද, සභාපතිවරයාගේ බිරිඳගේ වියදම් වශයෙන් මිලියන 191ක් වශයෙන්ද, හේතු සඳහන් නොවන වියදම් මිලියන 574ක්ද වශයෙන් වියදම් දරා තිබෙන බව සීඅයිඩී වාර්තා මගින් අනාවරණය වනවා. දැනට අනාවරණය වී ඇති පරිදි සිරිලිය සවියට සහ පුෂ්පා රාජපක්ෂ පදනමට ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා දී තිබෙනවා. 10. ඇවන්ගාඩ් සමාගමේ මෙම සැක සහිත වියදම් මොනවාද? එසේම ඇවන්ගාඩ් වෙතින් පරිත්‍යාග වශයෙන් මුදල් ලබා දී ඇති ආයතන, පුද්ගලයින්, පදනම් මොනවාද? හා ඒ එක් එක් අය වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාන කවරේද? 11. 2012.12.15 දිනැති අංක 36 දරන රක්නා ලංකා හා ඇවන්ගාඩ් සමාගම් අතර ඇති කරගත් බද්ධ ව්‍යාපාර ගිවිසුම අනුව රක්නා ලංකා සමාගමට ලාභයෙන් 50%ක මුදලක් ගෙවිය යුතුයි. මේ දක්වා එලෙස ගෙවන ලද මුදල කොපමණද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *