• Mon. Feb 6th, 2023

මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද.? – සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව.

seya
දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

“මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ.. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා.. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා.. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්.. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ.. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා..

මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ.. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා..

මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා.. මගේ පුතා වරදක්‌ කළේ නැහැ.. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා.. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ.. මහා මිනි මරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා..

මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි.. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌.. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ.. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා.. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි.. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌.. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි.. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද.?

කොටදෙණියාව අකරන්ගහ ගම්මානයේ සේයා සදෙව්මි දියණියගේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ඊයේ (23 වැනිදා) එහි ගිය අවස්‌ථාවේ පුෂ්පා ශ්‍රීයානි මහත්මිය මෙම අදහස්‌ පළ කළාය.

( සමන් ගමගේ )

කොටදෙනියාව පාසල් සිසුවා ගැන ප්‍රකාශයක් කරනු.

කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට පොලිසිය තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත්, එසේ නම් පාසල් සිසුවාට ඊට සම්බන්ධ ද නැද්ද යන්න ගැන පොලිසිය ප්‍රකාශයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
මිය ගිය දැරියගේ ඝාතනයේ සැකකරුවන් සොයන මුවාවෙන් පොලිසිය නොමළ දරුවකු ද මළ දරුවකුගේ තත්ත්වයට පත් කිරීමට උත්සාහ කර තිබෙන බව ද, සිසුවා ගැන විවිධ තොරතුරු කියාපාමින් ඔහු ගැන වැරදි මතයක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද, පොලිසියේ ක්‍රියාකලාපය හෙළා දකින බව ද ස්ටාලින් මහතා පවසයි.
මේ ගැන කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ වෛද්‍ය වාර්තා ආ පසු ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි. සිසුවා සැකපිට ගැනීමට හේතුව කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බවයි. අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙනියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ සැකයක් මතු වූ විට අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *