• Thu. Feb 2nd, 2023

jniwaඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, උතුරු අයර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට අදාළව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කර ඇති යෝජනා කෙටුම්පත ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස තවදුරටත් සංශෝධනය වනු ඇති බව දැනගන්නට ඇත.
රුසියාවද ශ්‍රී ලංකාවට විරුද්ධත්වය පළ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
මෙම යෝජනා කෙටුම්පත ලබන 29 දින තෙක් සංශෝධනයන් සඳහා විවෘතව පවතින අතර ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්ගේ අදහස්ද සැලකිල්ලට ගෙන එම කෙටුම්පත තවදුරටත් සංශෝධනය වනු ඇති බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් වර්ධනය කිරීම යන මැයෙන් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා කෙටුම්පත හරහා මෙරට යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බව කියන අපරාධ සම්බන්ධව “ශ්‍රී ලාංකීය නීතිමය හා අධිකරණ යාන්ත්‍රණයක්” ‍පොදුරාජ්‍ය මණ්ඩලයේ හා වෙනත් විදෙස් විනිසුරුවන්ගේ, නීතිඥයන්ගේ හා විමර්ශකයන්ගේ සහය හා දායකත්වයද සහිතව ක්‍රියාත්මක කළ යුතු බව මූලිකවම අවධාරණය කර ඇත.

මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ සියලු ජන කොටස්වල විශ්වාසය ඇති කරලීම සඳහා වගවීමේ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව ලක් රජය පිළිගෙන තිබිම හා මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක් යෝජනා කිරීම පිළිබඳව මෙම යෝජනාව මගින් ලක් රජයට ප්‍රසාදය පළ කර ඇත.
එම අධිකරණ ක්‍රියාවලියට ‍පොදුරාජ්‍ය මණ්ඩලයේ මෙන්ම විදේශීය විනිසුරුවන්ගේ සහ නීතිවේදීන්ගේ සහය ලබාගැනීම සඳහා විශේෂ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට ලක් රජය යෝජනා කිරීම පිළිබඳවද මෙම යෝජනාව මගින් ප්‍රශංසාව පළ කර ඇත.
මෙරට අල්ලස, දූෂණය, වංචා සහ අත්තනෝමතික බලය යෙදවීම් විමර්ශනය කිරීමටත් වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ගෙන ඇති පියවරද යෝජනාව මගින් පැසසුමට ලක් කර ඇත.

 

(පැතුම් වික්‍රමරත්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *