• Tue. Feb 7th, 2023

daham sirisena

දේශපාලන කරලියේත් සමාජ සංවාද තුළත් රට පාලනය කරන පවුල් පිලිබදව කතා කරන්නේ එක එක විදිහටය.ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපති පුත්තු වගේම,ඇමති පුත්තුන්ගේ ක්‍රියාකාරකම් පිළිබද ජනතාව සැමවිටම අවදියෙන් සිටින්නේ පසුගිය කාලයේ ඔවුන් බහුතරයක් දෙනා පිළිකුල් සහගතව කරන ලද ක්‍රියා හේතුවෙනි.මේ සමහර කාරණා සදහා සාධනීය හේතු සාධක ඇත. සමහර කාරනා මඩ වෙති.
ව්‍යාජ සළුපිළි පොරවාගෙන කුරහන් සාටකයකින් ඒ සියල්ල ආවරණය කොටගෙන රට පාලනය කළ උන්දෑ නිසා මේ පිරිස කල්පනා කරනුයේ මේ කුරහන් සාටක චින්තනය ඔස්සේ රට ගෝත්‍රවාදයේ අග්ගිස්සටම ගෙන ගිය ඒ අමිහිරි මතයක් සමග ඉදිරියේදිත් ඒ සාපයෙන් රට ගලවා ගැනිමට නොහැකි වේවි යන්න ඔවුනට බැලූබැල්මට නාභිගත වන නිසා මේ විරෝධතාවය උත්සන්න වි ඇත.එම නිසාම මෛත්‍රීගේ තැලී පොඩිවී ගිය කමිසයට පහර ගැසිම මෙන්ම ඔහුගේ පෞද්ගලික සහයකයා වශයෙන් එහි ගිය දහම් සිරිසේන ගැන ප්‍රශ්නකාරී වීමද සමාජ මාධ්‍ය තුළ අද දවසේ කථා කරන ප්‍රබලම මාතෘකාව බවට පත්ව ඇත.

ජනාධිපතිවරයා අමරිකාව බලා ගියේ එක්සත් ජාතින්ගේ මහ සමුළුවට සහභාගී වීම සඳහා ලැබෙන ආරාධනයක් අනුවය. සාමාන්‍යයෙන් කලින් සිටිය ගෝත්‍රවාදී නායකයා මෙවැනි අවස්ථාවක් එළැබී වහාම මාසයකට කලින්වත් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නේය.රූපවාහිනි නාලිකාද තරඟයට මෙන් එම සමුළුවලින් ලැබෙන දේවල් ය කියා ගෝත්‍රවාදී නායකයා ව පුම්බවමින් විකාශන කාලය නාස්ති කළේය.ගෝත්‍රවාදී නායකයාද ඊට දෙවෙනි නොවෙමින් මහ සමුළුවට ගොස් ලොව දෙවනත් කරන හැටි කීවේ පපුවට තඩි බාගෙනය.
ඇමතිවරු ලකුණු දමා ගැනිමට පත්තර,රූපවාහිනීවල දැන්වීම් පළ කරනු ලැබුවේ ඊට සුභාශිංසන පළ කරමිනි.ගුවන්තො‍ටුපොල මාර්ගයේ ද අති විශාල කටවුට් සවි කළේය.හැබැයි ඒ ජනතා මුදල් වලිනි.ඒකේත් කීයක් හෝ යටිමඩ ගහගනිමිනි.
මේ යනගමන සඳහා තමන්ගේ පවුලේ හිතවතුන්ද එහේ ගොස් ඩීල්දමා ගණුදෙනු කළ හැකි ව්‍යාපාරිකයන් රොත්තක් හා ඔවුන් හැමෝටම සාත්තු සප්පායම් කිරීමට සේවකයන්ද සමග කොහොමත් සියයක,එකසිය පනහක පමණ නඩයක් මේ සඳහා සූදානම් කෙරෙන අතර ඒ වෙනුවෙන් වෙනම ගුවන් යානයක්ද සූදානම් කෙරෙන්නේ නායකයාට සුවසේ යෑමට ව්‍යාපාරික පන්තියේ වෙනම ගුවන් යානාවක් යන නිසාය.නායකයා සමග පසුගිය කාලයේ ගිය කාන්තාවන්ගේ නම් ඇතත් අප මෙහි ඒ පිළිබඳව සටහන් නොකරමු.ප්‍රදේශයේ මැති ඇමතිවරුන් සහ සමෘද්ධි ලාභී,ජාතික කොඩි රැගත් ජනතාවගේ සහභාගිත්වයෙන් ක‍ටුනායක ගුවන් තො‍ටුපොළේ පැවැත්වෙන සංදර්ශනයකින් පසුව නිව්යෝර්ක් නුවරින් බසින ඒ ගෝත්‍රික පාලකයා පිලිගැනීමටද තවත් සියයක් හමාරක් සූදානමින් සිටී.ඇමරිකාවේ මෙරට තානාපති කාර්යාලයට ඒ වෙනුවෙන් කුලියට මිනිස්සු ගෙන්වීමටද සිදුවෙයි.මේ සංදර්ශනයට සහභාගී වීම වෙනුවෙන් හිටපු පාලකයා ගුවන් යානයෙන් බසින්නට පෙර නැවත හැඩ වැඩ වෙයි.ඇඳුම් මාරු කරයි.මේකප් දායි.ඒ වෙනුවෙන්ම ඩොලර් දහස් ගණන් ගෙවා රැගෙන යන වේශනීරූපණ ශිල්පීන්ගේ සහයෙනි.

ඉස්සර එහෙමය.

පැය 20කට අධික කාලයක වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවරින් ගොඩ බසින්නේ මේ සංර්ශන කිසිවක් නොමැතිව ලංකාවෙන් පිට වෙද්දී ඇඟලාගත් ඇඳුම පිටින්මය.ඔහු මේකප් දමා නොගන්නේ නලුවකු නොවන නිසාවෙන් විය යුතුය.මන්ද ඔහු රට පාලනය කරමින් සිටින්නේ ව්‍යාජ සළුපිළි පොරවාගෙන නොවන බව ඔහු මේ වන විට කළ සමහර කාරණාවලින් පෙනෙන්නට තිබෙන නිසාය.එහෙත් එක දිගට වාඩිවී සිටීම නිසා කමිසයේ වූ ‍රැලි කිහිපය දැක කළබල වූ සම්බුද්ධික යැයි සිත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමන් හැදී වැඩුනු වසර නවයක වහල් මානසිකත්වය තුළ මේ කරුණ එල්ලා මැරීමට තරම් බලපාන කරුණක්ය යන්න නිශ්චය කොට ඊට අදාළ ලෙස අදහස් පළ කරනු ලැබුවේ එය මහත් වූ ලංකාවටම කැළලක්ය යන්න පෙන්වා දෙමිනි.

එමෙන්ම ජනාධිපතිවරයා සමඟ සිය ගනනක පිරිවරක් මේ ගමනට ගියේද නැත.සම්පූර්ණ පිරිස 26 දෙනෙකි. ඉන් 18 ක් ඇමතිවරු දෙදෙනා, හා අනෙක් නිළධාරීන් විය.ඉතිරි 8 දෙනා අරක්ෂකයින් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයයි.ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාද අයත් වූයේ මේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටය.

එමෙන්ම ජනාධිපති පුත්‍රයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව පැවැත්වෙන ‘එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ සමුළුවට සහභාගී වීම ගැන මේ වන විට සමාජ මාධ්‍යයන් තුළ දැඩි ප්‍රශ්නයක්ව තිබෙන්නේ ජනාධිපති පුත් දහම් ඒ සහභාගී වූයේ කුමන තත්වයක් යටතේද යන්න විමසමින්ය.ඊට බොහෝසෙයින් කළබල වී ඇත්තේ යහපාලනය ආණ්ඩුව පිහිටුවීමේදී දර දිය ඇදවුන් නිසා මේ ප්‍රශ්නය වඩාත් තීව්‍ර වී ඇත.රාජපක්ෂ පවුල් පාලනය අවසන් කර යහපාලනයක් පිහිට වූයේ,ජනවාරි 8 වෙනිදා බිඳ හෙලූ පවුල් පාලනය යළි ගෙන එන්නට නොයේ යැයි ඔවුන් සඳහන් කරති.කතාව බැලු බැල්මට 100% ක් ඇත්තය.
නමුත් පවුල් පාලනය කියන්නේ තාත්තා පස්සෙන් කසාද ගෑණී සහ ළමයා යන එක නොවන බව තේරුම් ගත යුතුය.ජනාධිපතිවරයාට මේ ගමනට සිය පවුලම කැඳවාගෙන යාමේ අවස්ථාව තිබිණි.ඒ එක්සත් ජාතීන් ආරාධනා කරන්නේ යම් රටක නායකයාගේ පවුලටමය.එහෙත් ජනාධිපතිවරයා ගියේ තනිවමය.පුතාව රැගෙන ගියෙත් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයකු ලෙසය.දේශපාලකයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍යතා අනුව ගෙදර සාමාජිකයන් ඇතුලත්ව සිටීම වරදක් නොවේ.ඊට අවශ්‍ය සුදුසුකම තීරණය කරන්නේ දේශපාලකයා විසින්ය.ජනාධිපති මෛත්‍රීද එසේමය.

 

අනෙක් කරුණ නම් මෛත්‍රී පවුල සාමාන්‍ය පවුලක් සේම දැඩි ලබැඳියාවක් ඇති පිය,පුතු,අම්මා,දූවරු සම්බන්ධය වඩාත් ළඟින් තිබෙන පවුලකි.ජනාධිපති මෛත්‍රී කොළඹ අවට සිටියොත් ආහාර ගැනීමට යන්නේ නිවෙසටය.ඒ බිරිඳගේ ආහාර වේල ගැනීමටය.ඔහු කරගෙන ආ වූ මේ පුරුද්ද තමා ජනාධිපති වුණා යැයි කියා වෙනස් කර ගත්තේ නැත.රෑ කීයට පැමිණියත් ගෙදර දරුවන් සිටීදැයි සොයා බලා, ඔවුන්ව තම දෑහින් දැකබලාගෙන ඔහු නින්දට යයි.ඒ රටේ ජනාධිපති ලෙසින් නොව,දරුවන්ගේ ආදරණීය තාත්තා නිසාය.අපගේ පවුලේ නම් තාත්තා දුර ගමනක් යන්නේ නම් ගෙදර පවුලටම එහි යා හැකි නම්, අප එහි ගමන් කරන්නේ අප පවුලක් ලෙස ඇති ලබැඳියාව ඒ සා විශාලම වන නිසාය.එසේ යෑමට දුෂ්කර නම්, වැඩිමහල් සහෝදරයාව හෝ තාත්තා සමඟින් යවන්නේ තාත්තා ගැන පවතින අම්මාගේ අසීමිතවූ ආදරය සහ ඔහුට කරදරයක් වූවොත් යන බිය නිසාමය.එයද අප කීයූ පවුල් පාලනය.? පොලොන්නරුවෙන් ආ මෛත්‍රී ජනාධිපතිතුමා රටින් ඇමෙරිකාව බලා සති 2ක ගමණක් ගියේ රටේ ජනාධිපති ලෙසින් බව ඇත්තය.නමුත් එය ඔහුගේ පවුලට ගෙදර තාත්තා දුර ගමනක් යෑම හා සමානය.

පසුගිය අවුරුදු කිහිපය තුළ සිදුවූ සමහර කාරණා නිසා අප වත්මන් රාජ්‍ය නායකයා සහ එම පවුල පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතුය.හැබැයි ඒ ඔහුගේ සරලකම හා ඔහුගේ පවුලේ වටපිටාව ගැන ද හොඳට සොයා බලමින්ය.

මෙවරත් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලාගෙන සිටියේ හැත්තෑපහක්, සියයත් අතර පිරිසක් පිළිගැනීමටය.ඒ පෙර පාලකයාගේ කාලයේ පුරුද්දටය.එමෙන්ම එම පිරිසට හෝටල්,යානවාහන මෙන්ම සුරා සූදුවද ඇතුළත් පහසුකම් සලසා දීමටත් ජනාධිපතිවරයා ඇමැතිවරු හා නිළධාරීන්ට ඉහළම ගනයේ හෝටල් පහසුකම් ලබා දීමටත් සූදානම් විය.එහෙත් ජනාධිපතිවරයා ඒ සියල්ල ප්‍රත්ක්ෂේප කොට නවාතැන් ගත්තේ එක්සත් ජාතීන් විසින් රාජ්‍ය නායකයන් වෙනුවෙන්ම වෙන්කළ කලාපයේ පිහිටි හෝටලයකය.එමෙන්ම ඔහුගේ ගමන් සඳහා වෙනත් ප්‍රභූ පන්තියේ වාහන ඇනවුම් කළේද නැත,ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාහන හා එක්සත් ජාතින් විසින් සපයනු ලැබූ වාහන හැර අනෙක් වාහනයක් ලබා නොගත යුතු බව ජනාධිපතිවරයාගේ නියමය වී ඇත. විශේෂතම කරුණ වී ඇත්තේ කිසිවකුට සූදු කෙලීමට හෝ ස්ත්‍රීන් පසුපස යැම තහනම් කර තිබීමය.

මේ නිසා හිටපු ගෝත්‍රික පාලකයාගේ සංචාර වල වියදම් හා සැසඳීමේදී සරල මෛත්‍රීගේ සංචාර වල වියදම් ඔබට සිතා ගත හැක.කොහොම නමුත් මේ සියලු තත්වයන් හරියාකාරව බේරුම් කරගෙන,යහපාලනය තුළ ලබන ජයග්‍රහණ සහ පරාජයන් තේරුම් අරගෙන එල්බ ගෙන ඇති හිස් අදහස් වලින් මිදී මේ අලුත් සරල ජනාධිපතිවරයාව තේරුම් අරගෙන වැඩ කටයුතු කරමු.අදහස් පළ කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *