• Thu. Feb 2nd, 2023

ජිනීවාවලදී ලංකාවට ජය


maithripala sirisena and jiniwaජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය වෙත ඇමෙරිකාව ප්‍රමුඛව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව (01) ඒකමතිකව සභා සම්මත විය.මෙම යෝජනාව සඳහා ඇමෙරිකාවට අමතරව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 25ක් සම අනුග්‍රහය දක්වා තිබිම සුවිශේෂී කරුණක් විය.

ශ්‍රී ලංකාව තුළ යුද ගැටුම් පැවැති අවසන් කාලසීමාවේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සෙවීම සඳහා වන දේශීය යාන්ත්‍රණයකට සහය පළ කරමින් ඇමෙරිකාවේ මූලිකත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණ.“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” තේමාව යටතේ මෙම යෝජනාව ඉදිරපත් කර තිබිණ. (01) සම්මත වූ, මෙම ඇමෙරිකානු යෝජනාව තුළ දේශීය පරීක්ෂණයක් වෙනුවෙන් පැහැදිලිවම සහය පළ කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලය යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව මෙම යෝජනාවේ පැහැදිලිවම දක්වා ඇත.

එසේම ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් යටතේ හෝ ජාත්‍යන්තර නීති පද්ධති අනුව මෙම පරීක්ෂණ සිදු කළ යුතු බවට මෙම ඇමෙරිකානු යෝජනාවේ කිසිදු තැනක සඳහන් නොවීමද විශේෂ කරුණකි.යෝජනාවේ මූලික වශයෙන්ම දැක්වෙන්නේ ‍පොදු රාජ්‍ය මණ්ඩලීය හා වෙනත් ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයන්ගෙන්, නීතිවේදීන්ගෙන්, අභිචෝදකයන්ගෙන්, විමර්ශකයන්ගෙන් සමන්විත උපදේශක කාර්යාලයක සහභාගිත්වය ලබාගනිමින්, මෙම මානව හිමිකම් චෝදනා පිළිබඳව ශ්‍රී ලාංකීය නීති පද්ධති යටතේ දේශීය අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

යෝජනාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා යෝජනාව සම්මතවීමට පෙර කතා කරමින් පැවැසුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුම හා උදව් ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්ෂණය ඉටු කරන බවය.සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහා වන සංහිඳියාව, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරන බවත් ඔහු කීවේය.
යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වීමට පෙරාතුව සමුළුව ආමන්ත්‍රණය කළ එක්සත් රාජධානියේ නියෝජිතයා කියා සිටියේ මෙම තේමාවෙන් යුතු යෝජනාවක් මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන්නේ සිව් වෙනි වතාවට බව හා ශ්‍රී ලංකාව රජයක් ලෙස සම අනුග්‍රහය දක්වන පළමු අවස්ථාව මෙය වන බවයි.මෙම අවස්ථාව සැබවින්ම ශ්‍රී ලංකාවේ මෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඓතිහාසික සංවර්ධනයක් පෙන්නුම් කරන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

(පැතුම් වික්‍රමරත්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *