• Mon. Feb 6th, 2023

මම වන්දි ගෙව්වේ නරක මිතුරන් නිසයි – කොටදෙණියාවේ සිසුවා කියයි

seyaකොටදෙණියාවේ සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවා මේ වන විට නිදහස් කර තිබෙනවා.ඔහු මේ සම්බන්ධයෙන් පුවත්පත් සමග පැවති සාකච්ඡාවක් පහතින් දැක්වෙනවා.

මට මේ අත්දැකීම ගැන කියන්න.?
මාව අරගෙන ගිය තැන ඉඳන්ම කියන්නම්. උදේ නවයට විතර අරගෙන ගියේ. කටඋත්තරයක් ගන්න තියෙනව කියලයි මාව අරගෙන ගියෙ. මාව අරගෙන ගිහිල්ල තියාගත්තෙ පොලිසිය පිටිපස්සෙ ක්වාටස්වල. ඊට පස්සෙ මට ගහ ගහ ඇහුව. “උඹ නේද කළේ, උඹ නේද කළේ කියපං ඇත්ත කියල. අරූ දැන් පෑළියගොඩ ඉඳන් ඇත්ත කියල තියෙන්නෙ. උඹත් මේකට සම්බන්ධයි. ඇත්ත කියපං. මම මොනව කියන්නද ඉතින් මම මේවට සම්බන්ධ නෑනෙ.
ගහනකොට ඔබ මොනවද කළේ..?
මම කිව්ව ගහන්න එපා සර්. මම වැරැද්දක් කරල නෑ සර් කියල. මම වැඳ වැඳ කිව්ව. මගෙ අංශු මාත්‍රයකවත් සම්බන්ධයක් නෑ සර්. මාව විශ්වාස කරන්න කිව්ව. මම එදා රෑ අම්මගෙ ළඟ නිදාගත්තෙ. මම හීනෙකින්වත් හිතලවත් නෑ. මම පිස්සෙක් නෙවෙයි කිව්ව. ඒ ගොල්ලො පිළිගත්තෙ නෑ. මට ගැහුව. මගේ ඇඳුම් ගලවල චෙක් කළා.

කී දෙනෙක් ගැහුවද.?
හතර පස් දෙනෙක් ගැහුව. පස්සෙ CID එකට භාරදුන්න.

CID එකේදි?
එහෙදිත් ගැහුව. ඒත් එතනදිනම් අපි වැරැදිකාරයො නෙවේ කියල පිළිගත්ත. ඒ වුණත් පොලිසිය ආයෙ අපිව ප්‍රශ්න කරන්න ඕන කියල DNA ගන්න ඕන කියල අරගෙන ගියා.

DNA වාර්තාවට ගත්තෙ ඔබගෙ ලේ?
ඔව්.

කී පාරක්ද?
එක පාරයි.

අරගෙන යන අතරතුරේ මොනවද අත්දැකීම්?
එතකොට මීඩියාවලින් එනවා. ෆොටෝ ගන්නවා අපි මූණ වහගන්නවා. අපි හැම මාධ්‍ය ආයතනයකටම චෝදනා කරන්නෙ නෑ.

බන්ධනාගාරෙ ඇතුළෙදි මොනවද වුණේ?
මහෙස්ත්‍රාත්තුමා ප්‍රකාශයක් කරලා තිබුණා මෙයාලා සැකකාරයෝ විතරයි ආරක්ෂාව සපයන්න කියලා. බන්ධනාගාර නිලධාරිනුත් ඇතුළේ ඉන්න අයට කියලා තිබුණා. මෙයාලා සැකකාරයො විතරයි කියලා. අපිට ඇතුළෙදි හොඳට සැලකුවා. කිසිම කරදරයක් වුණේ නෑ. නිලධාරින්වත් සිරකරුවන්වත් අපිට පුංචිවත් කරදරයක් කළේ නෑ. සිරකරුවෝ ඇත්තටම හොඳයි. මාධ්‍යයට පොලිසියටත් වඩා සිරකරුවෝ හොඳයි. එයාලා අපිව විශ්වාස කළා.
පොලිසියේදි ඔබට මොනවද කළේ ඇත්තටම?
කනට ගැහුවා, ඔළුවට ගැහුවා, පිටට ගැහුවා, පයින් ගැහුවා, ඒවයේ තුවාල තාමත් තියෙනවා. අතේ තියෙනවා තුවාලයක්. කොන්දට ගැහුවා එස්ලෝන් බටයකින්.
තව දණ ගස්සවලා පොත් ටිකක් අතේ තියාගෙන ඉන්න කියනවා. පොත් ටික අත අරින්න බෑ උඹ කළා නේද ඇත්ත කියපං කියනවා. මම ඉතින් අඬ අඬා කියනවා මම වැරැද්දක් කළේ නෑ කියලා. පොත් ටික ටිකකින් ගන්නවා. අරගෙන ආයෙත් තියනවා.

එහෙම කරපු අයව මතකද?
එහෙම කළේ නං CID එකෙන්. ඒත් ඒ මහත්තයා හරි හොඳයි. ඒ මහත්තයාට වැරැද්දක් කියන්න බෑ. CID එක හුඟක් හොඳ තැනක්. එතනදි එයාල පිළිගත්තා අපි වැරැදි නෑ කියලා. CID එක අපිව නිදහස් කළා. පොලිසියයි අපිව නිදහස් නොකළේ.

පොලිස් කූඩුවේ කොච්චර වෙලා හිටියද?
ගෙදරින් නවයට අරගෙන ගියේ. පොලිසියට යද්දි නවයයි තිහට ඇතිනේ. දහය ඉඳලා හවස පහ විතර වෙනකම්ම වධ දුන්නා.

කෑම බීම?
උදේට කන්න දුන්නේ නෑ. දවල් බත් එකක් ගෙනල්ල දුන්නා කාපං කියලා. මම ටිකක් කෑවා.

කූඩුවට දැම්මෙ කීයටද?
හවස පහ මාරට විතර කටඋත්තරය ගත්තා. ඊට පස්සෙ මම ඇහුවා දැන් ‘සර්’ ගියැකි නේද කියලා. පොඩ්ඩක් ඔහොම හිටපන්කො කියලා දැම්මා කූඩුවට. අම්මට කතා කරන්න කෝල් එකක් අරගෙන දෙන්න කිව්වම අරගෙන දුන්නෙත් නෑ. එදා රෑ අම්මා මාව බලන්න ඇවිල්ලා ඒත් බලන්න දීලා නෑ.

අම්මට බලන්නම දුන්නෙ නැද්ද?
එදා ඉඳන් දවස් තුනක් විතර යනකම්ම බලන්න දුන්නේ නෑ. තුන්වැනිදා තමයි බලන්න දුන්නේ.

ඒ දවස් තුනම ගැහුවද?
නෑ.. පස්සේ CID එකට භාර දුන්නනේ.

අම්ම ගැන මොකද හිතුනෙ ඇතුළෙ ඉන්න කොට?
අම්මා විතරයි මට හිටියෙ හැමවෙලේම. හිරේ ඉද්දිත් මට මතක් වුණේ අම්මව. මම හිරේ ඉන්නවා. මට ආරක්ෂාව තියෙනවා ගෙදර කට්ටියට මොනවා හරි කරයිද? අම්මට මොනවා හරි වෙයිද? අම්මට පපුවෙ අමාරුවක්වත් හැදුණොත් අම්මට මොනවා හරි වුණොත් මාධ්‍යයවත්, පොලිසියවත් මට අම්මා කෙනෙක් ගෙනත් දෙන්නෙ නෑනේ. මම ඉතින් ගොඩක් බයෙන් හිටියේ.

ඉස්කෝලෙ ගැන මේ වෙලාවෙ මොනවද හිතෙන්නෙ?
විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, යාළුවෝ ආදිශිෂ්‍ය සංගමය මේ වෙලාවේ මාව තනි කළේ නෑ. මම ඒ හැමෝටම ගෞරව කරනවා.

හිතුවද ඉස්කෝලෙ මේ තරම් ඔයාට ආදරෙයි කියලා?
මේ තරම්ම නෑ. ඒත් මම හිතුවා මට පිහිට වෙයි කියලා.

විදුහල්පතිතුමා ගැන?
එතුමා මම වෙනුවෙන් කතා කරපු එක ගැන ආඩම්බර වෙනවා. ඒ ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඉස්සරහට මොකද කරන්නේ A/L මොන අවුරුද්දෙද?
2016. මම ගමේ ඉන්න කැමැති නෑ. හැබැයි මම අනිවාර්යයෙන්ම A/L කරනවා. අධ්‍යාපන කටයුතු නතර කරන්නේ නෑ කොහොමත්. මම යන්න හිටපු තැනට වඩා, ඉස්සරහට යනවා.

ජීවිතේ කොතන හරි වැරැදුණා කියලා හිතෙනවාද?
ඔව්… මම නරක යාළුවෝ ආශ්‍රය කළා. අම්ම කියන දේ ඇහුවේ නෑ. මම ඒකට වන්දි ගෙව්වා මේ දවස් දාසය ඇතුළේ. ජීවිතේ හොඳ කාලයක් දැන් උදාවෙයි කියලා හිතනවා.

ඒත් ජීවිතේ හැමදාම මගේ ළඟ හිටපු ඉස්කෝලෙ යාළුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ නීතිඥ මහත්තුරුන්ට මම වෙනුවෙන් පෙනී හිටපු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු අධිකරණයට මම ස්තුතිවන්ත වෙනවා. මගේ ගමේ අය ‘සේයා’ගේ පවුලේ අය මාව අවිශ්වාස නොකළටත් මම ස්තුතිවන්ත වෙන්න ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *