ලීසිං ක්‍රමයට වාහන ගැනීමේදී වාහන ගැනුම්කරු විසින් ගෙවිය යුතු මූලික මුදල වූ සියයට 30 ක අගය සියයට 10 දක්වා අඩු කිරීමට තීරණය කළ බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.
ලබන අය වැය ඉදිරිපත් වනතෙක් මේ තීරණය ගත් බව ද, මුදල් ඇමැතිවරයා ඊයේ (02 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
මේ නව තීරණයත් සමග වාහන මිලදී ගැනීමේදී සියයට 90 ක් දක්වා ලීසිං පහසුකම් ලබා ගැනීමට වාහන ගැනුම්කරුවන්ට අවස්ථාව ලැබේ.
මීට පෙර වාහන මිලදී ගැනීමේදී සියයට සියයක් ලීසිං පහසුකම් ලබා දුන්නත් රජය විසින් ලීසිං පහසුකම් ලබාගත හැකි ප්‍රමාණය මෑතකදී වාහනයේ වටිනාකමින් සියයට 70 කට සීමා කිරීමට පියවර ගත් අතර ඊයේ (0 දා) සිට එය යළි සියයට 90 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේය.
එසේම වාහන මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී ණයවර ලිපියේ සඳහන් වටිනාකම මුළුමනින්ම ආවරණය වන පරිදි මුදල් තැන්පත් කළ යුතු බවට ද තීරණයක් ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
(ශ්‍යාම් නුවන් ගනේවත්ත)