අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි සොයාගත නොහැකිව කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරු 30කට ආසන්න සංඛ්‍යාවක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මෙම ඇමැතිවරු සියලු දෙනා තම අමාත්‍යාංශ පිහිටුවීම සඳහා ගොඩනැඟිලි සොයන්නේ කොළඹ නගරය තුළින් වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි වාර්තා වෙන්නේ.
අමාත්‍යාංශ සඳහාම ඉදිකළ බත්තරමුල්ල සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ලේද කල් තියා සමහර ඇමැතිවරුන් විසින් වෙන්කරගෙන ඇති නිසා සෙසු ඇමැතිවරුන්ට එහි ඉඩකඩ නොමැති බව ද එම ආරංචි මාර්ග පැවසී ය.
බොහෝ ඇමැතිවරුන් කොළඹ හා ඊට ආසන්නව තම අමාත්‍යාංශ ආරම්භ කිරීම සඳහා සොයන්නේ පුද්ගලික ගොඩනැඟිලි බව ද ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් මෙතෙක් කර නැතැයි ද වාර්තාවේ.
මේ අතර අමාත්‍යාංශවලට විෂයයන් පැවරීම සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර ද මේ වන විට ගැටුම් නිර්මාණය වී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කැබිනට් ඇමැතිවරයා විසින් අදාළ අමාත්‍යාංශ යටතේ ඇති වැදගත් විෂයයන්ල ආයතන සහ මණ්ඩල ඔවුන් යටතට පවරාගෙන ඇතැයි ද තමන්ට කිසිදු වගකීමක් ලබා දී නැතැයි ද රාජ්‍ය ඇමැතිවරු චෝදනා කරන බව ද ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වාහන පවා කැබිනට් ඇමැතිවරුන් විසින් පවරාගෙන ඇතැයි ද මේ නිසා රාජ්‍ය ඇමැතිවරු ගණනාවක් දැඩි කලකිරීමකින් යුතුව පසුවන බව ද කැබිනට් ඇමැතිවරුන් විසින් පවත්වන පුවත්පත් සාකච්ඡා සඳහා ද රාජ්‍ය ඇමැතිවරුන්ට කැඳවීමක් නොකරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.