• Mon. Feb 6th, 2023

සේයා ඝාතන පරීක්ෂණ අර්බුදයක.

seya

කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළ අපරාධකාරයා මේ වනතුරුත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්‌ඩයා නමැති සැකකරුගේ සොහොයුරාගෙන් ද පැය හැත්තෑදෙකක කාලයක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් පෙරේදා (03 වැනිදා) අවසර ලබාගත්තේය.

මෙම සාහසික ඝාතනය කොණ්‌ඩයා විසින් කළ බවට ඔප්පු කරගත හැකි සාක්‍ෂි කිසිවක්‌ මේ වනතුරු හමු නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.සේයා දියණිය ඝාතනය කරනු ලැබුවේ තම සොහොයුරා වන කොණ්‌ඩයා විසින් බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණයක්‌ කරනු ලැබුවේ රැඳවුම් නියෝග ලබාගෙන සිටින සොහොයුරා විසිනි.

පොලිසිය කොණ්‌ඩයා අත්අඩංගුවට ගනු ලැබුවේ මේ තොරතුරු පදනම් කරගෙනය. එහෙත් කොණ්‌ඩයාගේ සොහොයුරාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී ඔහු ලබා දී තිබූ ඇතැම් තොරතුරු ගැටලු සහගත බව රහස්‌ පොලිසියට වැටහී තිබේ.දැරිය ඝාතනයට මොහුගේද යම් සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැකයක්‌ මතුවී ඇත. ඔහු තම සොහොයුරා වන කොණ්‌ඩයා පාවා දී පොලිසියෙන් ගැලවීමට උත්සාහ කළේද යන්න ගැන ද සැකය මතුවී තිබේ.

කොණ්‌ඩයාගේ සොහොයුරු ද කාන්තාවන් ඇසුරට මෙන්ම විකෘති ලිංගික ක්‍රියාවන්ට දැඩි ඇල්මක්‌ දක්‌වන පුද්ගලයකු බව හෙළි වී තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහුද වසර හයකට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි.සොහොයුරා සහ කොණ්‌ඩයා බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් දෙදෙනා කොටදෙණියාවේ සොහොයුරියගේ නිවසට නිතර ආ ගිය දෙදෙනෙක්‌ බවත් හෙළි වී තිබේ.

කොණ්‌ඩයාගේ සොහොයුරා 36 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු මුලින් විවාහ වී සිටි කාන්තාව මේ වන විට විදේශගත වී ඇති බවත් ඉන්පසු විවාහ වූ කාන්තාව ද මොහු අතහැර වෙනම ජීවත්වන බවත් හෙළි වී තිබේ.දෙවැනි විවාහයේ දියණියක්‌ මේ වන විට විවාහ වී ඇති බවත් බාල දරුවා බිරිඳ සමඟ වෙනම ජීවත්වන බවත් හෙළිකරගෙන ඇති පොලිසිය අත්අඩංගුවට ගන්නා විට මොහු ලිහිනියාගම ගඩොල් පෝරණුවක වැඩ කරමින් සිට ඇති බව ද හෙළි වී ඇත.

කොණ්‌ඩයා විසින් සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක්‌ පසුගිය දිනවල මාධ්‍යයට කර තිබුණේ මෙම සොහොයුරා විසින් කොණ්‌ඩයා තමාට කී බවට පොලිසියට කළ ප්‍රකාශ පදනම් කරගෙනය. එම අපරාධය සැකකාර සොහොයුරා එම අන්දමට සිදුකර කොණ්‌ඩයා පිට පැටවීමට උත්සාහ දරන බවට බරපතළ සැකයක්‌ ඊයේ (04 වැනිදා) වන විට මතුවී තිබිණි.

රහස්‌ පොලිසිය භාරයේ සිටින සැකකාර සොහොයුරා අද (05 වැනිදා) ඩී. එන්. ඒ. (ජාන පරීක්‍ෂණයකට) යොමුකර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රහස්‌ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.

One thought on “සේයා ඝාතන පරීක්ෂණ අර්බුදයක.”
  1. It’s a great shame to the entire Police Department. It’s an absolute waste of The Systems & Techniques they follow, Special Training Skills and other Academic Expertise they acquire on the cost of Public Funds. The entire Police Department MUST BE REVAMPED FROM THE PCD UP TO THE IGP. A great shame to the country not only to the Police.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *