• Fri. Feb 3rd, 2023

කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීමෙන් කෝටි 13ක පාඩුවක්

kelani river

කැලණි ගඟේ ජලය අපවිත්‍රවීම නිසා ජල සම්පාදන මණ්ඩලය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට හා මධ්‍යම පරිසර අධිකාරියට රුපියල් කෝටි 13කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන ඇමැති රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
මෙයින් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 13ක්ද, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට රුපියල් ලක්ෂ 20ක්ද, මධ්‍යම පරිසර අධිකාරියට රුපියල් ලක්ෂ 15ක්ද වශයෙන් රුපියල් දහතුන් කෝටි හතළිස් පන් ලක්ෂයක පාඩුවක් සිදුව ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
ජල සම්පාදන මණ්ඩලයේ පාඩුව කොකා කෝලා සමාගමෙන් අය කර ගෙන ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජලයට විෂ රසායනිකයක් මුසුවූ බවට දැන ගැනීමත් සමග ජලය නිකුත් කිරීම අත්හිටුවූ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ඉන්දියානු පෞද්ගලික සමාගමක් හා රජයේ රස පරීක්ෂක ආයතනය පරීක්ෂණ කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඉන්දියානු සමාගමේ වාර්තාව අනුව ජලයට දැවි තෙල් මුසුව ඇති බව වාර්තා කර ඇති නමුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තවම සිය වාර්තාව නිකුත් කර නැතැයිද කීවේය. එම වාර්තාව ලද පසු ජලයට මුසු වූවේ කුමන ද්‍රව්‍යයක්ද යන්න තීරණය කරනා බවද ඒ මහතා පැවැසීය.
එසේවුවද මහජනතාවට නිකුත් කළ ජලයේ කිසිදු රසායනියකයක් නොතිබූ බවට තමන් සහතික වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. කැලණි ගඟේ ජලය සම්බන්ධයෙන් දින පහකදී ස්ථාන 12 කින් ලබා ගත් ජල සාම්පල පරීක්ෂා කළ බවද ඔහු කීවේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
අනුර දිසානායක මහතා :
දැවි තෙල් කැලණි ගඟට මුසුව ඇති බවට අනාවරණය වෙලා තියෙනවා කියා ඇමැතිවරයා කිව්වා. ඒ කියන්නේ දැවි තෙල් මිශ්‍ර ජලය පාරිභෝගිකයා භාවිතා කර තිබෙනවා. ඒ අයට වන්දියක් දෙන්නේ කවුද?
ජලාප්‍රවාහන ඇමැති රාවුෆ් හකීම් : මෙම සිද්ධිය සැලවූ වහාම ජල සැපයුම අත්හිටුවා ජල පවිත්‍රාගාරවලින් ජලය නිකුත් කිරීම නවතා පරීක්ෂා කළා. ඉන් පසුව තමයි ජලය නිකුත් කෙරුවේ. ජල සම්පාදන මණ්ඩලයට අයි.එස්.ඕ තත්ත්ව සහතිකයත් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *