• Mon. Jan 30th, 2023

“ම්ලේච්ඡත්වය” පොලීසියේ සන්නාමය නොවිය යුතුය.

sri lanka police‘පොලීසිය යනු කුමක්ද.?’ යන පැනය අසන ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම ලැබෙන පිළිතුර නම් ‘රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය’ යන්නයි. න්‍යායිකව මෙය හරි විය හැකි වුවද ප්‍රායෝගික තත්ත්වය තුළ වත්මන් ශ්‍රී ලංකා පොලීසිය (සේවය?) විසංයෝජනය කරන්නට මේ නිර්වචනයම ප්‍රමාණවත්ය. මෑතකාලීන සිදුවීම් රැසකදීම අපට දකින්නට සිදු වූයේ පොලීසියේ ක්‍රියාත්මක ස්වරූපය මේ මූලික අරමුණම උල්ලංඝනය කරන බවකි. ආසන්නතම නිදසුනක් ඇසුරින් කියන්නේ නම්, පොලීසියේ මැදහත් වීම නිසාම රටේ නීතිය හා සාමය තිබුණාටත් වඩා පිරිහෙන තැන්, එසේත් නැතහොත් නැති ප්‍රශ්න උද්ගත වන තැන්ද එමට ඇත. සේයා සඳෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසියේ කෙරුවාවම මේ කියමනට සාක්ෂි සපයයි. මේ එකක් පමණි. එක් සිදුවීමක් පාදක කරගෙන සමස්ථ පොලිස් සේවය ගැන තක්සේරු කිරීමක් ලෙස මෙය වටහා නොගත යුතු බව මම මගේ බුද්ධිමත් පාඨකයින්ට යෝජනා කරමි.

එකම දේ නිතර නිතර සිදුවන්නට පටන් ගත් විට හරි හෝ වැරදි වේවා කෙමෙන් කෙමෙන් ඒවා ‘පොදු යතාර්ථ’ ලෙස සිවිල් සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මඳක් විමසිලිමත්ව බලන විට, ඇතැම් නිලධාරීන් හට අනවශ්‍ය තරම් බලතල හා වරප්‍රසාද ලැබීමටත්, ඒවා පුරවැසියන් පීඩාවට පත්වන ආකාරයට හැසිරවීමටත් හේතුවද මෙම සාමාන්‍යකරණයන්ම බව පෙනී යයි. මේ කාරණය දේශපාලඥයන්ටද අදාළය. නිදසුනක් ලෙස ‘කවුරු බලයට ආවත් එකයි, ඔක්කොම හොරු’ යන සුපුරුදු ජනතා මැසිවිල්ල ගන්න. දේශපාලඥයා හිතේ හැටියට හොරාකෑමට වක්‍රාකාරයෙන් අවභාවිත කරන්නේද පුරවැසි මනස තුළ ඇති මෙවැනි ‘සිදුරු’ නොවේද? මන්ද, ‘රටේ දේපළ හොරාකෑම දේශපාලනයේ පොදු ධර්මතාවකි, ඒ නිසා ඒ ගැන අමුතුවෙන් පුදුම වීමට අවශ්‍ය නැත’ යන එහි ගම්‍යාර්ථය හොරකම් කිරීමට දෙන ලයිසමක් ලෙසද කෙනෙකුට අර්ථකථනය කරන්නට හැකි හෙයිනි.

සේයා ඝාතන සිද්ධියේදී පොලීසියේ හැසිරීම අන්තිම පාදඩ හා ම්ලේච්ඡ එකක් බව ඉඳුරාම කිව හැක. ඒ බව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය පිරි හදවතක්, ඇත්ත ඇති සැටියෙන් දැකීමට හරිහමන් කොඳුනාරටියක් හා හොඳින් ක්‍රියාත්මක වන ‘ඔළුවක්’ පමණි. මේ නිසා, පාසල් සිසුවෙකු හා එක්දරු පියෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වධ හිංසා පැමිණවීම ගැන පුරවැසියාට පිළිගත නොහැකි ප්‍රවාද මවාපාන පොලීසියේ මහත්වරුන් වේ නම්, ඔවුන් පළමුව එකී අවයව තුන පරීක්ෂා කර බැලීම වැදගත්ය.

සේයා සිදුවීම මට නම් අපේ සමාජ-දේශපාලනික යතාර්ථයේ වැදගත් පැතිකඩක් මතු කරන කතිකාමය අවකාශයකි. මෙම සිදුවීම ආශ්‍රිත තීරණාත්මක බලවේග තුනක් හඳුනාගත හැක. එනම්, මහජනතාව, ජන/ඩමාධ්‍ය හා පොලීසිය වශයෙනි. ප්‍රධාන වශයෙන්ම මහජනතාවගේ ප්‍රකෝපකාරී හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැක. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ආදිය අතුගා දැමිය යුතු සමාජ ව්‍යසන බව මහපාරට බැස යටිගිරියෙන් කෑගසමින් පෝස්ටර් බැනර් පෙන්වමින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඒ ගැන අප සෑම දෙනාම සිටින්නේ එකම ආස්ථානයේය. මේ නිසා, කළ යුත්තේ තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් කැපවීම මිස ඒ මොහොතේ හිතට එන ක්ෂණික ආවේගය මුදාහැර නිහඬ වීම නොවේ. අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වධ බන්ධනයන්ට ලක් කොට මානසික වශයෙන්ද අපයෝජනය කර බැරිම වූ තැන මුදා හැරුණු පාසල් ශිෂ්‍යාගේ ඉරණම සේයා වෙනුවෙන් දැවැන්ත හඬක් නැගූ කොටදෙණියාවේත්, ඉන් පිටතත් මහජනතාවගේ අවධානයට ලක් නොවන්නේම අනවශ්‍ය ප්‍රකෝපකාරී මානසිකත්වය විසින් ඔවුන්ගේ මනැස් අන්ධ කර ඇති නිසා නොවේද?

මීළඟට අප දකින්නේ මෙම සිදුවීම ඉල්ලමක් කරගනිමින් මුදල් හා ප්‍රසිද්ධිය ‘හම්බ කිරීම වෙනුවෙන්’ දැඩි අරගලයක යෙදුණු මාධ්‍යයි. මෙම සිදුවීමේදී මාධ්‍ය අති බහුතරයක (එකක් දෙකක් හැරුණු විට) හැසිරීම ජනමාධ්‍ය සංස්කෘතියක් අප රටේ නැති බව පුන පුනා ඔප්පු කළ පන්නයේ එකකි. විටින් විට සැකකරුවන්, වරදකාරයින් හා වින්දිතයන් ජනතාව ඉදිරියේ මවා පාමින් ජන මනස විකෘති කිරීමේ සැලකිය යුතු වගකීමක් මාධ්‍යවලට භාරගන්නට සිදු වේ. ඕනෑම පහත් පුවතක් නිර්මාණය කරමින් තමන් වෙත ජනතා ආකර්ෂණය දිනා ගැනීම හැර අන් කිසිදු සාදාචාරාත්මක-මාධ්‍ය න්‍යායපත්‍රයක් කිසිසේත්ම තමන්ට අදාළ නැති බව මෙයින් මොනවට පැහැදිලි විය.

පොලීසියේ මැදහත්වීම ගැන අප බරපතල ලෙස සිතා බැලිය යුත්තේ මෙම පසුබිම තුළයි. අපරාධවලදී පරීක්ෂණ පැවැත්වීම හා සැකකරුවන් සම්බන්ධයෙන් හැසිරෙන හැටි ගැන ශ්‍රී ලංකා පොලීසියට පොදුවේ ඇත්තේ හොඳ නමක් නොවේ. ප්‍රසිද්ධියේ ‘පොලිස් නිලධාරියා’ යන්න භාවිත කරන ජනතාව පවා පෞද්ගලිකව ‘පොලිස් කාරයා’ යන යෙදුමට වැඩි කැමැත්තක් දක්වන බව අපි දනිමු. ජනතාව අතර පොලීසියට හිමි පරිහානිකර ප්‍රතිරූපයට එයම දෙස් දෙයි. එහෙත්, මේ නරක ප්‍රතිරූපය හොඳ එකක් බවට පරිවර්තනය කරගැනීමේ අවංක අවශ්‍යතාවක් පොලීසියට ඇති බවක්ද නොපෙනේ. කොටදෙණියාව මෙම සිදුවීමේදී හැසිරුණේද දූෂකයෙකු, අපයෝජකයෙකු හා සාපරාධී අපරාධකරුවෙකු ලෙසම වීමෙන් අප වටහාගත යුත්තේ මේ පොලීසියත්, සේයා ඝාතකයාත් අතර ඒ හැටි වෙනසක් නැති බව නොවේද?

‍අත්අඩංගුවට ගන්නා ලද පාසල් ශිෂ්‍යයාට හා එක්දරු පියාට පහර දෙමින් ඔවුන් ‘වරද පිළිගන්නා තැනට’ මානසිකව වැට්ටීමට පොලීසිය ක්‍රියාකර ඇත්තේ සිය සුපුරුදු ම්ලේච්ඡත්වය නැවත වරක් ප්‍රකට කරමිනි. යම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කෙනෙකු අත්අඩංගුවට ගන්නේ සැබෑ වරදකරුවා සොයාගැනීමට සහායක් ලැබීමට බවත්, පරීක්ෂණ අවසන අධිකරණය මගින් වරදකරුවෙකු බවට තීන්දු කරන තාක්කල් කිසිවෙකු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමට අයිතියක් හෝ බලයක් තමන්ට නැති බවත් පොලීසිය වටහාගත යුතුය. එහෙත්, දීර්ඝ කාලීන දූෂණයකට හා අවභාවිතයකට ලක්ව තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් එය තනිව කළ හැකි නොවේ. යහපාලනය වෙනුවෙන් පහුගිය කාලයේ හඬනැගූ දේශපාලඥයින් මේ සම්බන්ධ අවංක මැදහත්වීමක් දැක්විය යුත්තේ එහෙයිනි.

පොලීසියේ නිරුවත හා ලැජ්ජා නැතිකම හොඳින්ම පෙනෙන්නේ මෙම සිදුවීම, දේශපාලඥයින් විසින් නීති කඩකරන සිදුවීම් සමග සන්සන්දනය කර බැලූ විටයි. කිසිදු පදනමකින් තොරව පාසල් සිසුවෙකු හා එක් දරු පියෙකු අත්අඩංගුවට ගෙන, ඔවුන් මානසික හා ශාරීරික වශයෙන් බරපතල අපයෝජනවලට ලක් කිරීමට දෙවරක් සිතා නොබැලූ පොලීසිය, දේශපාලඥයින් තක්කඩිකම් කරන විට ඔවුන්ද ‘සැකකරුවන්’ ලෙසම සලකා කටයුතු කිරීමට තමන්ට කොන්ද පණ නැතිකම ගැන සමස්ථයක් ලෙස ලැජ්ජාවට පත්විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වන්නේ දූෂිත දේශපාලඥයන් නීති කඩ කරන විට ‘සර්’ කියාගෙන දෙකට නැමෙන, එහෙත් බලය අවභාවිත කරමින් අහිංසක වැසියන් පවා ‘අපරාධකරුවන්’ තත්ත්වයට ඇද දමා ඔවුන්ට පහර දෙන බෙලහීන පොලීසියක් පැවතීම නොවේ.

යහපාලනයක් ඇති කිරීමට නම් අපට අවශ්‍ය වන්නේ මහජනතාව පෝස්ටර්, බැනර් පෙන්නාගෙන පාරට බැස බෙරිහන් දීමෙන් ‘ෆෝම්’ වී වරදකරුවන් ‘නිර්මාණය කරන’ මජර, රස්තියාදුකාර පොලීසියක් නොවේ. බුද්ධිමත්ව හැසිරෙමින් මිනිසුන්ගේ ආත්මගෞරවය හා ආත්ම අභිමානයද ආරක්ෂා වන පරිදි අගතිගාමී නොවී වැඩ කළ හැකි බුද්ධිමත් පොලිස් සේවයකි. ම්ලේච්ඡත්වය සන්නාමය කරගත් පොලීසියක් නඩත්තු කරන ආණ්ඩුවකට කිසිම දිනක ‘යහපාලන’ ආණ්ඩුවක් වීමට බැරිය.

– අශාන් වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *