පසුගිය අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබෙන අධිකරණ නියෝජ්‍ය ඇමති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලීසිය කටයුතු කර නොමැති බව වාර්තා වේ.
කලහකාරී ලෙස හැසිරුණ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැර තිබෙන අතර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වූ සාරති දුෂ්මන්ත ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දන්වා තිබේ.
එහෙත් පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදීද අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොවීය.
අගෝස්තු 19 වන දින පොලිසියට මෙම තර්ජනය සිදු කර ඇති අතර ඊට සම්බන්ධ වූ දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස එදිනම අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එසේ තිබියදී පසුගිය සැප්තැම්බර් 17 දින උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ අමාත්‍යංශයේදී ඔහු සිය ධූරයේ වැඩ භාරගැනීමටද කටයුතු කර තිබිණ.