• Mon. Feb 6th, 2023

ඇවන්ගාඩ් කාර්ය මණ්ඩලය ළඟ නිවැරදි තොරතුරු දීමට අසමත් – නාවික හමුදාපති (Video)

avanguard

දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව මේ වන විට නාවික හමුදාව භාරයට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

නාවික හමුදාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත එම පරීක්ෂණ සිදු කරන බව ය.දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රේඩාර් පද්ධතියේ දිස් වූ ඇවන්ගාඩ් නමැති නෞකාව පසුගිය 5 වන දා මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ආකාරය නාවික හමුදාව නිරීක්ෂණය කර තිබේ.

ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කළ එම නෞකාව ඇවන්ගාඩ් නමැති පාවෙන අවි ගබඩාව ලෙස නාවික හමුදාව හඳුනාගෙන ඇති අතර සුඩානයේ සිට එය මෙරට සීමාවට ඇතුළු වී තිබුණේ, දැනුම් දීමකින් තොරව ය.

එහිදී වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව නෞකාවෙන් කරුණු විමසූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසී ය.

නාවික හමුදාපතිවරයා සඳහන් කළේ, ගාලු මුහුදට ඇතුළු වීමට‍ හේතු විමසූ අවස්ථාවේ නාවිකයින් ඉවත් කර නෞකාව භාර දීමට ශ්‍රී ලංකාවට පැමිණි බවට ප්‍රතිචාර ලැබුණු බව ය.

ජාත්‍යන්තර නාවික තොරතුරු පද්ධතිය තුළ සුඩානයේ සිට‍ කොළඹ වරායට පැමිණෙන බව සඳහන්ව තිබූ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සිය ගමන් මාර්ගය වෙනස් කර ගාල්ලට පැමිණීම පිළිබඳව කළ විමසීමට ප්‍රතිචාර දැක්වීමට අසමත් වී තිබේ.

නැවේ ආයුධ පිළිබඳව විමසූ අවස්ථාවේ ලැබී ඇති ප්‍රතිචාරය වී ඇත්තේ, කිසිදු අවියක් එහි නොමැති බව ය.

පසුව පසුගිය 6 වන දා ගාලු වරායට නාවික සැතපුම් 14 ක් පමණ දුරින් ඇවන්ගාඩ් නෞකාවට නාවික හමුදාව ඇතුළු වී තිබේ.

නාවික හමුදාපතිවරයා පැවසුවේ, සිය නිලධාරීන් සිදු කළ පරික්ෂාවේදී ගිනි අවි 810 ක් සොයා ගත් බව ය.

එම අවි රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් බව එහිදී ඇවන්ගාඩ් නෞකාවේ සිටි පිරිස පවසා තිබේ.

නැවේ කපිතාන්වරයා ශ්‍රී ලාංකිකයෙකු ලෙස සඳහන්ව තිබුණ ද පරික්ෂණයේදී හෙළි වී ඇත්තේ, යුක්‍රේන ජාතිකයෙකු නෞකාව මෙහෙයවා ඇති බව ය.

නාවික හමුදාව ‍ඇමතුවහොත් ප්‍රතිචාර නොදක්වන ලෙස ද නාවික සැතපුම් 12 ක් ඇති නෞකාව තබා ගන්නා ලෙස එහි කාර්ය මණ්ඩලයට අදාළ සමාගමෙන් උපදෙස් ලබා දී ඇති බව ත් නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඇවන්ගාඩ් නෞකාව රඳවාගෙන තවදුරට ත් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.

නාවික හමුදාපතිවරයාට අනුව එම නෞකාව මාලදිවයින ආසන්නයෙන් යාත්‍රා කර ඇති අතර නාවික හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ, වෙනත් රටක ආරක්ෂක අංශයකට එම පාවෙන අවි ගබඩාව හසු වූවා නම් බරපතළ ගැටළු මතු වන බව ය.

ඇවන්ගාඩ් සමාගම සිය වෙබ් අඩවියේ මුහුදු ආරක්ෂණ කටයුතුවල නිරත නෞකා 3ක් පිළිබඳව තොරතුරු දක්වා තිබිණි.

ඉන් එකක් මහත් ආන්දෝලනයට ලක් වූ ගාලු වරායේ තිබී සොයා ගත් මහනුවර පාවෙන අවි ගබඩාව ය.

තව ත් පාවෙන අවි ගබඩාවක් සහිත ඇවන්ගාඩ් නමැති නෞකාවක් රතු මුහුද ආශ්‍රිතව ද seapol one ( සීපෝල් වන් ) නමැති නෞකාවක් අවි ගබඩාවක් ලෙස ගල්ෆ් මුහුදේ ද නැංගුරම්ලා ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් විය.

නාවික හමුදාව මේ වන විට ‍සොයා ගෙන ඇත්තේ, ඇවන්ගාඩ් නමැති නෞකාව ය.‍

සීපෝල් වන් නමැති නෞකාව ධීවර කටයුතුවල නිරත යාත්‍රාවක් ලෙස මේ වන විට ජාත්‍යන්තර නාවික ගමනා ගමන පද්ධතියේ සටහන්ව තිබේ.

මේ අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමට අදාළව ‍‍මහා පරිමාණ වංචා දූෂණ විර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිදු කළ සාක්ෂි වි‍මසීමේදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය පැවසුවේ, රක්නා ලංකා ආරක්ෂක සමාගමට ගිනිඅවි ලබා දී ඇති බව ය.

ගිනිඅවි 3473ක් එසේ නිකුත් කර ඇති අතර ඉන් නීත්‍යානුකූල ක්‍රමවේදයට නිකුත් කර ඇත්තේ, ගිනිඅවි 89ක් පමණක් බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර 2012 වසරේ සැප්තැම්බර් 18 වන දා එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය යැවූ ලිපි කිහිපයකින් ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ තව ත් කරුණු රැසක් හෙළිදරව් වේ.

ඇය එම ලිපි යොමු කර තිබුණේ, එවක නාවික හමුදාපතිවරයාට, ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධානීන්ට සහ සියලු ම පෞද්ගලික නාවික ආරක්ෂක සේවා සමාගම්වලට ය.

එම ලිපිවලට අනුව ඒ දක්වා නාවික හමුදාවේ අනුදැනුම මත මෙරට වෙරළ සීමාවේ පවත්වාගෙන ගිය සියලු ම පෞද්ගලික නාවික ආරක්ෂක සමාගම්වල අවි ගබඩා වසා දමා ඇවන්ගාඩ් සමාගමට පමණක් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

එම අවි ගබඩාව නිරීක්ෂණය කීරීමත් භාහිර තර්ජනවලින් ආරක්ෂා කිරීමත් එහිදී පවරා තිබුණේ, නාවික හමුදාවට ය.

නමුත් එම අවි ගඩාව සම්බන්ධයෙන් පරිපාලන බලතල සියල්ල ඇවන්ගාඩ් සමාගම යටතට පවරා තිබිණි.


(නිව්ස් 1st ඇසුරෙනි)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *